නැවත හමුවීම Welcome Back







          එහා පැත්තෙන් පෝස්ට් එකක් දාලම මේ පැත්තට එන්න බැලුවේ.



         2007 විතර මේ බ්ලොග් එක පටන් ගත්තට එහෙමට ලියපු, කියවන්න තරම් දෙයක් තිබුනේ නෑ බැලුවම. ඒක හින්දාම  ආයෙත් දූවිළි එහෙම පිහදාලා පොඩ්ඩක් හංගන්න ඕනේ පෝස්ට් හංගලා එහෙම මේ පැත්තට එන්න හිතුනා. කොහෙද මේ බ්ලොග් ලියන කියවන ඈයෝ Facebook වලින්, Gtalk වලින්, Viber වලින්, Whats app වලිනුත් ඇවිත් කරදර කරනව නෙව ;)

 හරියට  මහ ලොකු බ්ලොග් එකක් ලීවා වගේ කරදර කරන්නේ මේ මිනිස්සු මට.

(මමනේ දන්නේ දෙකට ගනින්න බැරි තරම් අහිංසකයෙක් වෙච්ච මගේ බ්ලොග් කෙරුවාව.)

 ගෙවුන අවුරුදු දෙක කරදරකාරි කාලයක හිටපු හින්දා හැම දෙයක්ම වගේ එපා වෙලා හිටියේ. ඉදිරියටත් එහෙම නොවී තියෙයි කියලා මම හිතන්නේ නෑ. ඒත් පුළුවන් වෙලාවට මගේ එහෙන් මෙහෙන් කතා විතරක් නෙමෙයි කෑම බීම, වයින් කතා, හා එකී නොකී ඔක්කොම ඉස්සරහට මේකේ ලියවෙයි.(මතක විදියට මේ බ්ලොග් එක හදපු කාලේ මම හිතාගෙන හිටියෙත් මේකේ වයින් කතායි කෑම බීමයි ලියන්න වෙන්න ඕනේ.)
ඒත් ඒ කාලේට වඩා මම වයසට ගිහින් හින්දා විතරක් නෙමෙයි ජීවිතේත් සෑහෙන දුරට වෙනස් වෙලා හින්දා අලුතෙන් විදියකට මේක ලියන්නයි හිතාගෙන ඉන්නේ. 

  ඒ මොනවා වුනත් මේක ලියන්නේ බුරු බබාම තමයි. බුරු බබා හිටිගමන් වයසක ආච්චියෙක් වුනාට මොනවා කරන්නද ඉතින් මම?

         පසුගිය දවසක මගේ යාළුවෙක්ගේ කෝපීකඩේක  coffee toasting  කරනවා බලාගෙන ඉඳලා මටත් හිතුනා ඉස්සර අපි පුංචි කාලේ අපේ ගමේ වත්තේ කෝපි ගස් වලින් කඩාගත්ත කෝපි කතාවක් එක්කම තාක්ශණය යොදාගෙන අද වෙනකොට කරන coffee culture එක ගැනත් ලියන්න. හෙට අනිද්දට පුළුවන් වෙච්ච ගමන්ම ඒක ලියලා දාන්න ඕනේ. (ලියනවා කියලා Facebook එකේ දැම්මේ සති ගානකට කලින් තමයි.)

 (මම ලියනකම් ඉවසීමෙන් හිටි ඈයන්ට කියන්න තියෙන්නේ සමාවෙන්න කියලා තමයි ඉතින් :)


           එහෙනම් ඉතින් ඔන්න හැමෝටම මෙහෙට welcome කිව්වා....

  

8 comments:

World Cup








    ඊයේ world cup ඉවර වුනා.

 ආර්ජන්ටිනාව, ජර්මනියෙන් පැරදිලා ගෙදර ගියා.

    මේස්සි දිහා බලා හිටපු මට දැනුනේ දුකකටත් වඩා එහා ගිය මොකක්දෝ මන්දා සංකූලතාවයක් එක්ක සංතාපයක්.

අන්තිම තරඟ වලිනුත් මම බැලුවේ මැච් දෙකයි.  

     මට මාව හඳුනගන්නත් බෑ. මීට අවුරුදු කීපයකට එහා නම් footy  කිවුවම ඉන් එහාට ජීවිතයක් මට තිබුනද මන්දා. අපේ මල්ලිට ක්‍රිකට් වගේ,  මාත් මැච් පිස්සෙක් වෙලා හිටියේ. නැශනල් ගහද්දි, යුරෝප් කප් ගහද්දි, ඩෙර්බි එකට, මාස ගාණක් තිස්සේ අපේ හැම කතාව අස්සටටම ෆුට්බෝල් ඔබාගන්න එක මිසක් වෙන දෙයක් තිබුනේම නෑ.

 කාලේ කොයි තරම් වෙනස් වෙලාද? එහෙම නැත්නම් අපි කාලයත් එක්ක කොයි තරම් වෙනස් වෙලාද?

      මට football එපාවෙන්නේ ක්‍රීඩාවට එහා ගිහින් මුදල එලියට එන හින්දා. හැමදේම වගේ football කියන්නෙත් දැන් මුදල මත බැලන්ස් වෙන දෙයක් වෙලා. එක එක කාලෙට වංචා දූෂණ අරවා මේවා ඇහෙද්දි අපේ වීරයෝ වෙච්ච ක්‍රීඩකයෝ අන්තිමට ඉතිරි වුනේ නෑ. ඒ කාලේ බොහෝම සීමිත ආර්ථික පහසුකම යටතේ හිටි අපි  අමාරුවෙන් ඩෙර්බි එකට කලින් A.C. ROMA jacket එක ගනිද්දි, scarf එක ගනිද්දි, බිලියන ගණන් වලට අපේ  විශ්වාසය විකිණිලා කියලා දැණුනම මොනවගේ හිස්කමක් දැනුනද මන්දා.....ඉස්සර මැරුණත් රතු කහ (giallo rossi) වෙච්ච මම දැන් නිකම්ම නිකම් කහ වෙලාද කොහේද?

 
 ඊයේ මම මැච් එක බැලුවේ නිකම්ම නිකම් ෆූට්බෝල් මැච් එකක් බලනවා වගේ හරියට ගෙදර යන ගමන් වගේ.  කවුරු දිනුවත් එකයි වගේ. කාලෙකට කලින්  මම එහෙම නියුට්‍රල් ෆෑන් කෙනෙක් වෙලා කියලා මට මතකෙට එන්නේ නෑ.

 හැමදේම  කාලෙත් එක්ක  වෙනස් වෙලා.

0 comments:

එකෝමත් එක දවසක



  
     ඉස්සර අපිට කියවන්න ලොකු පාරාසයක දේවල් තිබුනේ නෑ. බොහොම සීමිතයි. ඒත් ඒ කාලේ ඒ  සීමිත දේවල් අපිට ලොකු පාඩම් කියා දුන්නා. අපිව නිවැරදි මාර්ගයකට ගේන්න උදව් වුනා. අපි එදිනෙදා ජීවිතය සැහැල්ලු වුනා. මිනිස්සු එක්ක මුහු වෙන්න අමාරුවක් තිබුනේ නෑ.  තව කෙනෙකුට කතා කරන්න පුළුවන් භාශාමය හැකියාවක් අපිට තිබුනා. ඒ පොත් වලින් අපි අපේ ජීවිතයට බොහෝ පාඩම් ලබා ගන්න යෙදුනා. බොහොම පුංචි කාලයේදි වුනත් සමාජයේ හැමෝම එක්ක කතා කරන්න පුළුවන් වචන භාවිතයක් අපිට ලැබුනා.

    අපි හැදුන ග්‍රාමිය පරිසරයේ එකිනෙකාට ගරු කරන වටපිටාවක් තිබුනේ. ඉස්සර අපේ ගෙවල් වල උඹ, තමුසේ, තෝ වගේ වචන විතරක් නෙමෙයි පලයන් කියලාවත් කියන්න අපිට අවසරයක් තිබ්බේ නෑ. ඒක දඬුවමටත් වඩා ඉබේ ලැබුන හික්මීමක් වෙන්න ඕනේ. ඉස්සර ගමේ ස්කෝලේ යන කාලේ කවුරු හරි මට උඹ කීවොත් ඒක ලොකු නඩුවක් වෙලා පන්තිභාර ගුරුතුමීටත්  ගියා. මගේ නරක වචන ලැයිස්තුවේ ඉහලින්ම හිටියේ උඹ හා පලයං කියලා මට මතකයි කාලයක් යනකම්ම. මට මතකයි කාලේ ගිහින් අපි ලොකු මිනිස්සු වෙලා අපේ අක්කගේ පුතා හැමදාම අඬාගෙන ආවේ 'අම්මේ මෙයා මට උඹ කියලා කීවා' කියලා. එයාගෙත් ලොකුම නරක වචනේ වුනෙ තරහා ගියාම 'ඔයා දුප්පත්' කියන එක.

    අද වෙනකොට මේ ලියන මමම හිතවත් කෙනෙකුට අමතන්නේ උඹ කියලා. ඒත් ඒක වැරදි භාවිතයෙන් යොමු කරන්නේ නෑ. කවමදාවත් කාගෙවත් අම්මෙක් තාත්තෙක් හෝ වෙනත් අයව සම්බන්ද කරලා අපහාස කරන්නෙත් නෑ. මම දන්න නරක වචන ඔක්කොම කෙලින්ම පුද්ගලයාට අමතන ඒවා. ඒවාත් වෙනත් භාශාවකින් සිංහලයට ගේන ඒවා හින්දා සමහර අය මට කොච්චර තරහා ගිහින් හිටියත් ඒ වචන වලින්ම මාව විහිළුවට ලක් කරන හින්දා අන්තිමට ඒවා නරක වචන නොවන තරම්.
 
   මේ කතාව මෙහෙම ලියවෙන්නේ මේ දවස් වල රාජකාරි හේතුවලට හමුවෙන අපේ අම්මටත් වඩා වයසක කාන්තාවක් ඉන්නවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටින්න මම කැමතියි. ඊටත් වඩා ඒ අය අපේ අම්මගේ තත්ත්වෙන් හිතන්නත් මම ඉබේටම යොමු වෙනවා. ඊයේ පෙරේද දවසක ඇය භාවිතා කල වචන කිහිපයක් අස්සේ මගේ හිත හොඳටම රිදුනා. සමහරවිට ඇයට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නැති. ඊටත් වඩා ඇය ඒ ඒ පුද්ගලයන් ගැන තරහින් ඉන්නත් ඇති. ඒත් ඒ දේවල් අහගෙන හිටපු මම අස්සේ අර අපේ ගමේ ගෙදර භාශා විලාශය මතක් වුනා. මට මම ගැනම දුක හිතුනා. ඒ සමගම මගේ අස්සේ හිටපු ඒ චූටි කාලේ ළමයා එලියට ඇවිත් 'ඔයා එහෙම කතා කරන්න එපා මම ඉස්සරහා. ඔයා දකින්නේ නෑ නේද මම එහෙම කාටවත් කතා කරනවා ' කියලා 'ඔයාගේ වයසටවත් ගැලපෙන්නේ නෑ ඔහොම කතා කරන එක' කීවා විතරක් නෙමෙයි ඒ වෙද්දි ඒ මනුස්සයා ගැන මගේ හිතේ තිබුන ගරු කිරීමේ හැඟීමත් බින්දුවටම ගිහින්.

   මේ සිදුවීම ගැන මට දවස් ගාණක් ගෙවිලත් හිතට හරිම දුකයි. එකක් ඒ වචන යාළු මිත්‍ර සමාගම් වලදි මාත් භාවිතා කරන ඒවා. ඒත් මම ඒ වටපිටාවෙන් පිට බලාපොරොත්තුවෙන්නේ නෑ. (කොටියා කැලේ මාරු කරාට පුල්ලි මාරු කරන්නේ නෑ වගේ) ඊටත් වඩා අපි ගරු කරන මිනිස්සු හෝ අත්දැකීම් සහිත පුද්ගලයෝ එහෙම කීවම අපිට දරාගන්න බෑ. ඊයේ දවසෙම කම්මැලිකමෙන් ගෙදර හිටියට ඇය කතා කරලා මම මිස්ට කෝලිකුට්ටුයි අඹයි අරන් ඇවිත් ගෙවල් ළඟ ඉන්නේ කීවම ඒ වගේ කෑමක් නම ඇහුනත් උඩ පැනගෙන දුවන මම ' අනේ වීක් එන්ඩ් එකට මම ගෙදර නෑනේ මම මේ යාළුවෙක් එක්ක වීක් එන්ඩ් එකට නගරෙන් පිට ඉන්නේ' කියවෙනවා. මම දන්නවා ඒ බොරුව එහෙම එලියට එන්නේ අර ඇය කාටදෝ අමතපු වචන හින්දා කියලා නැතිව ඇය මට කිසිම වරදක් කරලා නෑ නේ.

        මම දන්නවා මම කලේ වරදක් කියලා. ඇය බොහෝම ආදරෙන් මා වෙනුවෙන් එහෙම දේවල් අරන් එන්නැති. ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයි මම වයසට ගිහින් හින්දා වෙන්නැති ඉස්සරහට මට ඒකත් ප්‍රශ්නයක් වෙයි කියලා බයයි.

  අපි ඩිජිටල් ලෝකෙට කලින් මිනිස්සුනේ. ඉතින් අර අපේ කාලේ පොත්පත් වලින් වටපිටාවෙන් ආව දේවල් තාම අපි අස්සේ තියෙනවා. සමාජ ජීවිතයේදි අදටත් අපිට මිනිස්සු එක්ක හැඩ ගැහෙන්න, හැප්පෙන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒක හින්දා වෙන්නැති.  ඒත් තවදුරටත් අපිට ඒ වගේ සමාජයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට අපි  මේ කාලයට නොගැලපෙනවත් ඇති.

1 comments:

මුහුණු පොත සහ ජනමාධ්‍ය Paper articles By Lihini






        මොහොතින් මොහොත රූපවාහිනී තිරයේ අකුරු වැල් ඇදෙනවා. පත්තරේ විස්තරේ ඇස් දෙකට කලින් කන් දෙකට වදිනවා. ඒත් විඳින්න දකින්න තියෙන දේවල් ප්‍රවෘත්ති කියන ඒවම ද කියල මගේ හිත මගෙන් ම අහනවා. ඇත්තම කියනවා නම් මිනිස්සු හොයන්නෙ කුණු රහ, මිනිස්සුන්ට දෙන්නෙත් කුණු රහ, ඉල්ලුමට සැපයුම තියෙන්නත් ඕනෙ කියනවනේ නේද? ඒ වුණත් අනේ ඉතින් අපිට මොකද කියල අහක බලන් ඉන්න පුළුවන් කමක් නැති කමට මාත් හෝද හෝද මඩේ දානව වගේ මට දැනෙන දේවල් ලියනවා.

            අලුත්ම ප්‍රවෘත්තිය “තවත් ෆේස් බුක් මරණයක්” නිමිත්ත වර්චුවල් ලොකේ පෙම්වතුන් යුවලකගෙ පළමු සැබෑ හමුවීම. පෙම්වතා තමන්ගෙ මවුපියන් සමඟ මෙතෙක් කලක් පෙම්බැදි වර්චුවල් පෙම්වතියගේ ගෙදරට පැමිණ තිබුණා. අවාසනාවකට ඇය එතෙක් කලක් පෙනී සිට තිබුණෙ තම සැබෑ නමින් වුවත් අන් කෙනකුගේ ජායාරූපයකින්. අවසන් ප්‍රතිඵලය වුණෙ චර්චුවල් පෙම්වතා සහ ඔහුගේ මවුපියන් නික්ම ගිය පසු කාමරයට වැදුණු පෙම්වතිය සියදිවි හානිකර ගැනීමයි. මොකක්ද අපිට වෙන්නෙ. කොතනද අපිට වැරදෙන්නේ.

      ඇත්තටම මේ වෙන බොහෝ සිදුවීම්වලට හේතුව විදියට මට දැනෙන්නෙ ආත්ම වංචා මේවට බලපානවා කියලා. වර්තමාන පරම්පරාවට තමන් ගැන හැඟිමක් නෑ. තමන් කවුද? මොනවද කරන්නෙ? මොනවද කළයුත්තෙ කියන දේ අවබෝධ කරගන්න තරම් දැනුවත් බවක් පෞරුෂය මුහුකුරායාමක් අද දරුවන්ට නෑ. දක්ෂ අදක්ෂ, උස මහත, කැත ලස්සන, දුප්පත් පෝසත් මේ හැමදේම සාපේක්ෂයි කියල දකින්න හිතන්න තේරුම් ගන්න, ‍තේරුම් කරල දෙන්න කල්යල් බලන්න අනවශ්‍යයි කියලයි මට හිතෙන්නේ.
   
           මිනිසුන්ට ලෝකෙ තියෙන විවිධත්වය තේරුම් කරලා දෙන්න මහලොකු උත්සාහයක් ගන්න අවශ්‍ය නෑ. අප අවට තියෙන පරිසරය අපිට විවිධත්වය ඉගැන්නුවත් අද තත්ත්වය ඊට හුඟක් වෙනස්. අද හැම තැනම දකින්න තියෙන්නෙ අමුතුවෙන් මවන සංස්කෘතියක්. ඒ අලුත් සංස්කෘතියෙ තියෙන්නෙ ලස්සන දේවල් විතරයි.
කොටින්ම කියනවා නම් ඉස්සර අපි පුංචිකාලේ ඉගෙන ගත්ත කළු කියන්නෙ දැකුම්කළු කියලා. නමුත් අද කළු කියන්නෙ කැතයි කියන අර්ථයෙන්. වෙනකක් තියා සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම ගන්න යනකොට මුළු ලෝකෙම ඇයව හැඳින්නුවෙ ආසියාවේ කළු වෙළඹ කියලා. අද ඒ කළු වෙළඹත් සුදුවෙලා. අලුත් සංස්කෘතියට අනුගත වෙලා. මේ හැමදේම වෙන්න හේතුව මොකක්ද? ඇයි තමන් තමන්වම හීනමානයට පත්කරගන්නේ.
මේ තත්ත්වය මේ විදියට විස්තාරණය වෙන්න මාධ්‍යයෙනුත් ලොකු බලපෑමක් වෙනවා. අදට වඩා ඊයේ හොඳයි කියන තැන ඉඳල මම කතා කරනවා කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අද මාධ්‍යයට සමාජමය වගකීමක් නෑ. තිබුණත් ඔවුන් එය ඒ විදියට බාරගන්න ලෑස්ති නෑ. බොහෝ එෆ් එම් නාළිකාවල අරමුණ ඉල්ලුමට සැපයුම විතරයි.
 
      මෑත දිනක පුවත්පතක පළවෙච්ච සම්මුඛ සාකච්ඡාවකදි එක් නාළිකාවක වැඩ සටහන් සම්පාදකවරයෙක් කියල තිබුණා, මාධ්‍යයෙන් මිනිසුන් හදන්න බෑ, දැනුවත් කරන්න බෑ ඒක ලොකු බොරුවක්, මාධ්‍යයෙන් මිනිසුන් ඉල්ලා සිටින‍දේ දිය යුතුයි. එතනයි පැවැත්ම තියෙන්නෙ කියලා. ඉතින් මාධ්‍යයෙන් ජනතාව ඉදිරියට ‍ගේන්නෙ වෙළෙද ආයතනවලට අවශ්‍ය දේවල්, සමාජයීය ඕපාදුප සහ ඔවුනගේ ලාභ ලබාගැනීමේ ඉලක්ක සපුරාගැනීම සඳහා වන, ගෙදරටම ගිහින් අහන්නේ අපේ චැනල් එකනම් දෝතපුරා තෑගි කියන සංකල්පය.

      ඒ විතරක් නම් කමක් නෑ. මීනි මැරුමක්, මංකොල්ල කෑමක්, ස්ත්‍රී දූෂණයක් වුණාම අකුරින් අකුර ක්‍රිකට් විස්තර විචාරයක බෝලයෙන් බෝලයට වගේ විස්තර කෙරෙනවා. මේ හැම සිදුවීමක් ම, පාඨක ප්‍රේක්ෂක මනසේ චිත්‍ර විදියට තැන්පත් වෙනවා කියන හැඟීමක් අපේ මාධ්‍ය සගයින්ට ඇති නොවීමම කනගාටුවට කරුණක් වන්නේ ඊළඟ හදිසි මරණයට පාර කියාදෙන්න අපිත් දායක වුණා කියන හැඟිම මාධ්‍යයේ කටයුතු කරන අපේ හිතේ ඇති නොවෙන හින්ද කියල මම යෝජනා කරන්න කැමතියි.

        දැන් ඉතින් අපි කුමක් කළ යුතුද? දැන්වත් පිරිපුන් හෘදසාක්ෂියක් සහිත මිනිසුන් වශයෙන් හැසිරීමට අපි එක්ව කටයුතු කළයුතු මොහොත එළඹ තිබෙනවා නේද? ලියන අකුරක, දොඩන වදනක, කැමරා ‍කාචයකට හසුකරගන්නා දර්ශනයක නොකිය කියන කතා‍වට අප සමාජයට වගවිය යුත්තෝ වෙමු. නිශේධනීය, අරුත්සුන් සම්ප්‍රප්පලාප වෙනුවට සාධනීය අරුත්බර සමාජ වගකීමක පංගුකරුවන් වීමට වෙහෙසමු. මොහොතින් මොහොත මියදෙන කාලයට නවමු අරුතක් එක්කරමු.

       ඒ ඔබේත් මගේත් සමාජ වගකීමයි. අපි ඒ වෙනුවෙන් උත්සාහ දරමු. ලෝකය හැරයාමට උත්සාහ කරන දරුවකුගේ මනස වෙනස් කිරීමට, වෙහෙසින් මහන්සියෙන් හෙම්බත්වූ පුරවැසියකුගේ මනස ප්‍රබෝධමත් කිරීමට, ආදරයෙන් දයාවෙන් ලෝකයාගේ සිත සනසාලීමට ඔබේත් මගේ කටහඬ, කැමරාව, පෑන, පින්සල, මාධ්‍ය‍යක් ලෙස යොදා ගන්නේ නම් වඩා යහපත් හෙටක් සඳහා වූ අපේ දායක්වය ගැන අපිට කිසියම් සතුටක් ඉතිරිවේවි. මුදලම ජීවිතය නොවන සමාජයක අපේ සමාජ වගකීම උදෙසා, ආත්ම වංචාවෙන් තොරව ජීවිතය දකින්න, විඳින්න, සමාජයට තෙවන ඇසක් අවැසි යුගයක අපි ජීවත් වෙමු. මේ හිස් අවකාශය අප වෙනුවෙනි.

ලිහිණි
lihinisara@gmail.com


   

0 comments: