මුහුණු පොත සහ ජනමාධ්‍ය Paper articles By Lihini






        මොහොතින් මොහොත රූපවාහිනී තිරයේ අකුරු වැල් ඇදෙනවා. පත්තරේ විස්තරේ ඇස් දෙකට කලින් කන් දෙකට වදිනවා. ඒත් විඳින්න දකින්න තියෙන දේවල් ප්‍රවෘත්ති කියන ඒවම ද කියල මගේ හිත මගෙන් ම අහනවා. ඇත්තම කියනවා නම් මිනිස්සු හොයන්නෙ කුණු රහ, මිනිස්සුන්ට දෙන්නෙත් කුණු රහ, ඉල්ලුමට සැපයුම තියෙන්නත් ඕනෙ කියනවනේ නේද? ඒ වුණත් අනේ ඉතින් අපිට මොකද කියල අහක බලන් ඉන්න පුළුවන් කමක් නැති කමට මාත් හෝද හෝද මඩේ දානව වගේ මට දැනෙන දේවල් ලියනවා.

            අලුත්ම ප්‍රවෘත්තිය “තවත් ෆේස් බුක් මරණයක්” නිමිත්ත වර්චුවල් ලොකේ පෙම්වතුන් යුවලකගෙ පළමු සැබෑ හමුවීම. පෙම්වතා තමන්ගෙ මවුපියන් සමඟ මෙතෙක් කලක් පෙම්බැදි වර්චුවල් පෙම්වතියගේ ගෙදරට පැමිණ තිබුණා. අවාසනාවකට ඇය එතෙක් කලක් පෙනී සිට තිබුණෙ තම සැබෑ නමින් වුවත් අන් කෙනකුගේ ජායාරූපයකින්. අවසන් ප්‍රතිඵලය වුණෙ චර්චුවල් පෙම්වතා සහ ඔහුගේ මවුපියන් නික්ම ගිය පසු කාමරයට වැදුණු පෙම්වතිය සියදිවි හානිකර ගැනීමයි. මොකක්ද අපිට වෙන්නෙ. කොතනද අපිට වැරදෙන්නේ.

      ඇත්තටම මේ වෙන බොහෝ සිදුවීම්වලට හේතුව විදියට මට දැනෙන්නෙ ආත්ම වංචා මේවට බලපානවා කියලා. වර්තමාන පරම්පරාවට තමන් ගැන හැඟිමක් නෑ. තමන් කවුද? මොනවද කරන්නෙ? මොනවද කළයුත්තෙ කියන දේ අවබෝධ කරගන්න තරම් දැනුවත් බවක් පෞරුෂය මුහුකුරායාමක් අද දරුවන්ට නෑ. දක්ෂ අදක්ෂ, උස මහත, කැත ලස්සන, දුප්පත් පෝසත් මේ හැමදේම සාපේක්ෂයි කියල දකින්න හිතන්න තේරුම් ගන්න, ‍තේරුම් කරල දෙන්න කල්යල් බලන්න අනවශ්‍යයි කියලයි මට හිතෙන්නේ.
   
           මිනිසුන්ට ලෝකෙ තියෙන විවිධත්වය තේරුම් කරලා දෙන්න මහලොකු උත්සාහයක් ගන්න අවශ්‍ය නෑ. අප අවට තියෙන පරිසරය අපිට විවිධත්වය ඉගැන්නුවත් අද තත්ත්වය ඊට හුඟක් වෙනස්. අද හැම තැනම දකින්න තියෙන්නෙ අමුතුවෙන් මවන සංස්කෘතියක්. ඒ අලුත් සංස්කෘතියෙ තියෙන්නෙ ලස්සන දේවල් විතරයි.
කොටින්ම කියනවා නම් ඉස්සර අපි පුංචිකාලේ ඉගෙන ගත්ත කළු කියන්නෙ දැකුම්කළු කියලා. නමුත් අද කළු කියන්නෙ කැතයි කියන අර්ථයෙන්. වෙනකක් තියා සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම ගන්න යනකොට මුළු ලෝකෙම ඇයව හැඳින්නුවෙ ආසියාවේ කළු වෙළඹ කියලා. අද ඒ කළු වෙළඹත් සුදුවෙලා. අලුත් සංස්කෘතියට අනුගත වෙලා. මේ හැමදේම වෙන්න හේතුව මොකක්ද? ඇයි තමන් තමන්වම හීනමානයට පත්කරගන්නේ.
මේ තත්ත්වය මේ විදියට විස්තාරණය වෙන්න මාධ්‍යයෙනුත් ලොකු බලපෑමක් වෙනවා. අදට වඩා ඊයේ හොඳයි කියන තැන ඉඳල මම කතා කරනවා කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අද මාධ්‍යයට සමාජමය වගකීමක් නෑ. තිබුණත් ඔවුන් එය ඒ විදියට බාරගන්න ලෑස්ති නෑ. බොහෝ එෆ් එම් නාළිකාවල අරමුණ ඉල්ලුමට සැපයුම විතරයි.
 
      මෑත දිනක පුවත්පතක පළවෙච්ච සම්මුඛ සාකච්ඡාවකදි එක් නාළිකාවක වැඩ සටහන් සම්පාදකවරයෙක් කියල තිබුණා, මාධ්‍යයෙන් මිනිසුන් හදන්න බෑ, දැනුවත් කරන්න බෑ ඒක ලොකු බොරුවක්, මාධ්‍යයෙන් මිනිසුන් ඉල්ලා සිටින‍දේ දිය යුතුයි. එතනයි පැවැත්ම තියෙන්නෙ කියලා. ඉතින් මාධ්‍යයෙන් ජනතාව ඉදිරියට ‍ගේන්නෙ වෙළෙද ආයතනවලට අවශ්‍ය දේවල්, සමාජයීය ඕපාදුප සහ ඔවුනගේ ලාභ ලබාගැනීමේ ඉලක්ක සපුරාගැනීම සඳහා වන, ගෙදරටම ගිහින් අහන්නේ අපේ චැනල් එකනම් දෝතපුරා තෑගි කියන සංකල්පය.

      ඒ විතරක් නම් කමක් නෑ. මීනි මැරුමක්, මංකොල්ල කෑමක්, ස්ත්‍රී දූෂණයක් වුණාම අකුරින් අකුර ක්‍රිකට් විස්තර විචාරයක බෝලයෙන් බෝලයට වගේ විස්තර කෙරෙනවා. මේ හැම සිදුවීමක් ම, පාඨක ප්‍රේක්ෂක මනසේ චිත්‍ර විදියට තැන්පත් වෙනවා කියන හැඟීමක් අපේ මාධ්‍ය සගයින්ට ඇති නොවීමම කනගාටුවට කරුණක් වන්නේ ඊළඟ හදිසි මරණයට පාර කියාදෙන්න අපිත් දායක වුණා කියන හැඟිම මාධ්‍යයේ කටයුතු කරන අපේ හිතේ ඇති නොවෙන හින්ද කියල මම යෝජනා කරන්න කැමතියි.

        දැන් ඉතින් අපි කුමක් කළ යුතුද? දැන්වත් පිරිපුන් හෘදසාක්ෂියක් සහිත මිනිසුන් වශයෙන් හැසිරීමට අපි එක්ව කටයුතු කළයුතු මොහොත එළඹ තිබෙනවා නේද? ලියන අකුරක, දොඩන වදනක, කැමරා ‍කාචයකට හසුකරගන්නා දර්ශනයක නොකිය කියන කතා‍වට අප සමාජයට වගවිය යුත්තෝ වෙමු. නිශේධනීය, අරුත්සුන් සම්ප්‍රප්පලාප වෙනුවට සාධනීය අරුත්බර සමාජ වගකීමක පංගුකරුවන් වීමට වෙහෙසමු. මොහොතින් මොහොත මියදෙන කාලයට නවමු අරුතක් එක්කරමු.

       ඒ ඔබේත් මගේත් සමාජ වගකීමයි. අපි ඒ වෙනුවෙන් උත්සාහ දරමු. ලෝකය හැරයාමට උත්සාහ කරන දරුවකුගේ මනස වෙනස් කිරීමට, වෙහෙසින් මහන්සියෙන් හෙම්බත්වූ පුරවැසියකුගේ මනස ප්‍රබෝධමත් කිරීමට, ආදරයෙන් දයාවෙන් ලෝකයාගේ සිත සනසාලීමට ඔබේත් මගේ කටහඬ, කැමරාව, පෑන, පින්සල, මාධ්‍ය‍යක් ලෙස යොදා ගන්නේ නම් වඩා යහපත් හෙටක් සඳහා වූ අපේ දායක්වය ගැන අපිට කිසියම් සතුටක් ඉතිරිවේවි. මුදලම ජීවිතය නොවන සමාජයක අපේ සමාජ වගකීම උදෙසා, ආත්ම වංචාවෙන් තොරව ජීවිතය දකින්න, විඳින්න, සමාජයට තෙවන ඇසක් අවැසි යුගයක අපි ජීවත් වෙමු. මේ හිස් අවකාශය අප වෙනුවෙනි.

ලිහිණි
lihinisara@gmail.com


   

0 comments: