World Cup








    ඊයේ world cup ඉවර වුනා.

 ආර්ජන්ටිනාව, ජර්මනියෙන් පැරදිලා ගෙදර ගියා.

    මේස්සි දිහා බලා හිටපු මට දැනුනේ දුකකටත් වඩා එහා ගිය මොකක්දෝ මන්දා සංකූලතාවයක් එක්ක සංතාපයක්.

අන්තිම තරඟ වලිනුත් මම බැලුවේ මැච් දෙකයි.  

     මට මාව හඳුනගන්නත් බෑ. මීට අවුරුදු කීපයකට එහා නම් footy  කිවුවම ඉන් එහාට ජීවිතයක් මට තිබුනද මන්දා. අපේ මල්ලිට ක්‍රිකට් වගේ,  මාත් මැච් පිස්සෙක් වෙලා හිටියේ. නැශනල් ගහද්දි, යුරෝප් කප් ගහද්දි, ඩෙර්බි එකට, මාස ගාණක් තිස්සේ අපේ හැම කතාව අස්සටටම ෆුට්බෝල් ඔබාගන්න එක මිසක් වෙන දෙයක් තිබුනේම නෑ.

 කාලේ කොයි තරම් වෙනස් වෙලාද? එහෙම නැත්නම් අපි කාලයත් එක්ක කොයි තරම් වෙනස් වෙලාද?

      මට football එපාවෙන්නේ ක්‍රීඩාවට එහා ගිහින් මුදල එලියට එන හින්දා. හැමදේම වගේ football කියන්නෙත් දැන් මුදල මත බැලන්ස් වෙන දෙයක් වෙලා. එක එක කාලෙට වංචා දූෂණ අරවා මේවා ඇහෙද්දි අපේ වීරයෝ වෙච්ච ක්‍රීඩකයෝ අන්තිමට ඉතිරි වුනේ නෑ. ඒ කාලේ බොහෝම සීමිත ආර්ථික පහසුකම යටතේ හිටි අපි  අමාරුවෙන් ඩෙර්බි එකට කලින් A.C. ROMA jacket එක ගනිද්දි, scarf එක ගනිද්දි, බිලියන ගණන් වලට අපේ  විශ්වාසය විකිණිලා කියලා දැණුනම මොනවගේ හිස්කමක් දැනුනද මන්දා.....ඉස්සර මැරුණත් රතු කහ (giallo rossi) වෙච්ච මම දැන් නිකම්ම නිකම් කහ වෙලාද කොහේද?

 
 ඊයේ මම මැච් එක බැලුවේ නිකම්ම නිකම් ෆූට්බෝල් මැච් එකක් බලනවා වගේ හරියට ගෙදර යන ගමන් වගේ.  කවුරු දිනුවත් එකයි වගේ. කාලෙකට කලින්  මම එහෙම නියුට්‍රල් ෆෑන් කෙනෙක් වෙලා කියලා මට මතකෙට එන්නේ නෑ.

 හැමදේම  කාලෙත් එක්ක  වෙනස් වෙලා.

0 comments:

එකෝමත් එක දවසක



  
     ඉස්සර අපිට කියවන්න ලොකු පාරාසයක දේවල් තිබුනේ නෑ. බොහොම සීමිතයි. ඒත් ඒ කාලේ ඒ  සීමිත දේවල් අපිට ලොකු පාඩම් කියා දුන්නා. අපිව නිවැරදි මාර්ගයකට ගේන්න උදව් වුනා. අපි එදිනෙදා ජීවිතය සැහැල්ලු වුනා. මිනිස්සු එක්ක මුහු වෙන්න අමාරුවක් තිබුනේ නෑ.  තව කෙනෙකුට කතා කරන්න පුළුවන් භාශාමය හැකියාවක් අපිට තිබුනා. ඒ පොත් වලින් අපි අපේ ජීවිතයට බොහෝ පාඩම් ලබා ගන්න යෙදුනා. බොහොම පුංචි කාලයේදි වුනත් සමාජයේ හැමෝම එක්ක කතා කරන්න පුළුවන් වචන භාවිතයක් අපිට ලැබුනා.

    අපි හැදුන ග්‍රාමිය පරිසරයේ එකිනෙකාට ගරු කරන වටපිටාවක් තිබුනේ. ඉස්සර අපේ ගෙවල් වල උඹ, තමුසේ, තෝ වගේ වචන විතරක් නෙමෙයි පලයන් කියලාවත් කියන්න අපිට අවසරයක් තිබ්බේ නෑ. ඒක දඬුවමටත් වඩා ඉබේ ලැබුන හික්මීමක් වෙන්න ඕනේ. ඉස්සර ගමේ ස්කෝලේ යන කාලේ කවුරු හරි මට උඹ කීවොත් ඒක ලොකු නඩුවක් වෙලා පන්තිභාර ගුරුතුමීටත්  ගියා. මගේ නරක වචන ලැයිස්තුවේ ඉහලින්ම හිටියේ උඹ හා පලයං කියලා මට මතකයි කාලයක් යනකම්ම. මට මතකයි කාලේ ගිහින් අපි ලොකු මිනිස්සු වෙලා අපේ අක්කගේ පුතා හැමදාම අඬාගෙන ආවේ 'අම්මේ මෙයා මට උඹ කියලා කීවා' කියලා. එයාගෙත් ලොකුම නරක වචනේ වුනෙ තරහා ගියාම 'ඔයා දුප්පත්' කියන එක.

    අද වෙනකොට මේ ලියන මමම හිතවත් කෙනෙකුට අමතන්නේ උඹ කියලා. ඒත් ඒක වැරදි භාවිතයෙන් යොමු කරන්නේ නෑ. කවමදාවත් කාගෙවත් අම්මෙක් තාත්තෙක් හෝ වෙනත් අයව සම්බන්ද කරලා අපහාස කරන්නෙත් නෑ. මම දන්න නරක වචන ඔක්කොම කෙලින්ම පුද්ගලයාට අමතන ඒවා. ඒවාත් වෙනත් භාශාවකින් සිංහලයට ගේන ඒවා හින්දා සමහර අය මට කොච්චර තරහා ගිහින් හිටියත් ඒ වචන වලින්ම මාව විහිළුවට ලක් කරන හින්දා අන්තිමට ඒවා නරක වචන නොවන තරම්.
 
   මේ කතාව මෙහෙම ලියවෙන්නේ මේ දවස් වල රාජකාරි හේතුවලට හමුවෙන අපේ අම්මටත් වඩා වයසක කාන්තාවක් ඉන්නවා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටින්න මම කැමතියි. ඊටත් වඩා ඒ අය අපේ අම්මගේ තත්ත්වෙන් හිතන්නත් මම ඉබේටම යොමු වෙනවා. ඊයේ පෙරේද දවසක ඇය භාවිතා කල වචන කිහිපයක් අස්සේ මගේ හිත හොඳටම රිදුනා. සමහරවිට ඇයට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නැති. ඊටත් වඩා ඇය ඒ ඒ පුද්ගලයන් ගැන තරහින් ඉන්නත් ඇති. ඒත් ඒ දේවල් අහගෙන හිටපු මම අස්සේ අර අපේ ගමේ ගෙදර භාශා විලාශය මතක් වුනා. මට මම ගැනම දුක හිතුනා. ඒ සමගම මගේ අස්සේ හිටපු ඒ චූටි කාලේ ළමයා එලියට ඇවිත් 'ඔයා එහෙම කතා කරන්න එපා මම ඉස්සරහා. ඔයා දකින්නේ නෑ නේද මම එහෙම කාටවත් කතා කරනවා ' කියලා 'ඔයාගේ වයසටවත් ගැලපෙන්නේ නෑ ඔහොම කතා කරන එක' කීවා විතරක් නෙමෙයි ඒ වෙද්දි ඒ මනුස්සයා ගැන මගේ හිතේ තිබුන ගරු කිරීමේ හැඟීමත් බින්දුවටම ගිහින්.

   මේ සිදුවීම ගැන මට දවස් ගාණක් ගෙවිලත් හිතට හරිම දුකයි. එකක් ඒ වචන යාළු මිත්‍ර සමාගම් වලදි මාත් භාවිතා කරන ඒවා. ඒත් මම ඒ වටපිටාවෙන් පිට බලාපොරොත්තුවෙන්නේ නෑ. (කොටියා කැලේ මාරු කරාට පුල්ලි මාරු කරන්නේ නෑ වගේ) ඊටත් වඩා අපි ගරු කරන මිනිස්සු හෝ අත්දැකීම් සහිත පුද්ගලයෝ එහෙම කීවම අපිට දරාගන්න බෑ. ඊයේ දවසෙම කම්මැලිකමෙන් ගෙදර හිටියට ඇය කතා කරලා මම මිස්ට කෝලිකුට්ටුයි අඹයි අරන් ඇවිත් ගෙවල් ළඟ ඉන්නේ කීවම ඒ වගේ කෑමක් නම ඇහුනත් උඩ පැනගෙන දුවන මම ' අනේ වීක් එන්ඩ් එකට මම ගෙදර නෑනේ මම මේ යාළුවෙක් එක්ක වීක් එන්ඩ් එකට නගරෙන් පිට ඉන්නේ' කියවෙනවා. මම දන්නවා ඒ බොරුව එහෙම එලියට එන්නේ අර ඇය කාටදෝ අමතපු වචන හින්දා කියලා නැතිව ඇය මට කිසිම වරදක් කරලා නෑ නේ.

        මම දන්නවා මම කලේ වරදක් කියලා. ඇය බොහෝම ආදරෙන් මා වෙනුවෙන් එහෙම දේවල් අරන් එන්නැති. ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයි මම වයසට ගිහින් හින්දා වෙන්නැති ඉස්සරහට මට ඒකත් ප්‍රශ්නයක් වෙයි කියලා බයයි.

  අපි ඩිජිටල් ලෝකෙට කලින් මිනිස්සුනේ. ඉතින් අර අපේ කාලේ පොත්පත් වලින් වටපිටාවෙන් ආව දේවල් තාම අපි අස්සේ තියෙනවා. සමාජ ජීවිතයේදි අදටත් අපිට මිනිස්සු එක්ක හැඩ ගැහෙන්න, හැප්පෙන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒක හින්දා වෙන්නැති.  ඒත් තවදුරටත් අපිට ඒ වගේ සමාජයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට අපි  මේ කාලයට නොගැලපෙනවත් ඇති.

1 comments: