රැඩිකල් වීම.... හා ප්‍රේමය !!!!

   

       මේ ළඟදි දවසක යාළුවෙකුට කතා කරාම (ඌට යාළුවෙක් කියලා කියන්න බෑ මොකද මාව මතක් වෙන්නේ හිටිගමන් දෙකක් තුනක් බැනලා යැව්වම) කිව්වේ නැතැයි අනේ බං උඹලගේ  රැඩිකල් පොර ටෝක් හෙන මොඩන් මිනිස්සු කියද්දි නම් ඒත් බලපන් උඹත්, ජස්ට් අ ක්ලැසික් ට්‍රැඩිසනල් ලේඩිනේ කියලා....  ආයේ මොන දේ උනත් මූණට කෙලින්ම කියන පුරුද්දක් මට විතරක් නෙමෙයි ඌටත් ශොට් දෙකක් දාගත්තම තියෙන හින්දා ( අනිත් වෙලාවට හරි අක්කේ විතරයි) මම ඌට හෙන කැමතියි. ඉතින් ඌ කියපු දේ ගැන හිතුවම ඇත්තටම ඒක එහෙමයි කියලා මටත් හිතුනා.

   මේ කියන්නේ අර අනිත් අයට අනුව වයිෆ් පස්සෙන් බෑග් උස්සන් ශොපින් යන එකා හෙවත් පත්තර මල්ලි ගැන තමයි. ඒත් ඉතින් මම නම් ඌට හැමදාම ලංකාවට ගියාමත් කෝල් කරලා ඒ කාලෙත් බැන්නේ ලංකාවට ගියාම වයිෆ් එක්ක හිටපන් යාළුවෝ එක්ක බොන එක හැමදාම මෙහෙදිත් කරන්න පුළුවන් නේ කියලා. ඒ ඉතින් අපි හැමදාමත් ඒ ස්ටෑන්ඩ් එකේ හිටපු හින්දා.( අපි එහෙම කියමුකෝ) ;)

 ඉස්සර ඒ කියන්නේ මීට මාසෙකටත් අඩු කාලයක් වෙනකම් මගේ බෑග් එකේ සිගරට් පැකට් එකක් නොතිබුන වෙලාවක් නෑ. ගොඩක් වෙලාවට ජොගින් යනකොට, යාළුවෝ එක්ක හවසට හවසට කෝපි කතාවලට, වයින් වලට සෙට් වෙනකොට, ඔෆීස් මේට්ලා එක්ක කෝපි බ්‍රේක් එකකදි ඔය සිගරට් ඉබේ පත්තු වුනා. කවුරුත් හිටියේ නැත්නම් සිගරට් පැකට් එක බෑග් එකේ හරි ජැකට් එකේ හරි හිටියා. සිගරට් නොබොන අය ඉන්න තැන් වලදි අත්‍යාවශ්‍යම හේතුවක් නැතිවත් ඒවා එලියට ආවේ නෑ. එහෙම උවමනාවක්වත් තිබුනේ නෑ. කොටින්ම මගේ ගෙදර මම ස්මෝක් කලේම නෑ. ඔය පත්තරයා වගේ එකෙක් ආවම මිසක්. (කොහෙද ඉතින් ගෙදර ඉන්න එපැයි නේ?) ඒත් මොනවා උනත් මම එක සිගරට් පැකට් එකක් මාසයක් රඳවාගත්තා අන්තිම මාස කීපයක් වෙනකම් හා වැකේසන් නොයන හැම අවස්ථාවකදිම. වැකේසන් වලදි නම් මාසෙට සිගරට් කාටුන් දෙකත් ඉවර වෙනවා. ඒ ඇවිත් හොලිඩේ මූඩ්. අර හරේශ් ලා කියනවා වගේ ජස්ට් ලයිටින් අ සිගරට්... දන්නේ නැද්ද මේ පොශ් හැබිට්ස් අපි ගොඩයා වුනාට. නැතිව මට කවදාවත් සිගරට් දුම ඉන්හේල් කරන්න පුලුවන්කමක් තිබ්බේ නෑ. කොටින්ම මල් වන්දනවේ ගිය දෙතුන්පාරමත් මට කිසිම වෙනසක් නොතේරුනාම වටේ හිටපු එවුන් කීවේ ඕවා කොහේ දැනෙන්නද නිකම් පත්තු කරලා විසිකරාට කියලා... (කවුද දන්නේ ඕවා නේ...?)

           අර උඩ කියපු එකා එහෙම කීවේ මම ඌට කිව්වාම මචන් මම දැන් සිගරට් බොන්නේ නෑ කියලා. ඌ දාපු පල් හිනාව මට තාමත් ඇහෙනවා. පවු වැඩේ. වෙනදා නම් ඒ දුකටත් ගිහින් සිගරට් එකක් පත්තුකරගන්න එකා මම... මම ඉතින් ඔය ගස් ගෙම්බට කිව්වා මම සිගරට් බොන එක නතර කලේ මගේ කොල්ලා මගෙන් සිගරට් නොබී ඉන්න පුළුවන් නේද කියලා අහපු හින්දා කියලා. ඕකට ඉතින් ඒක ඇහුන ගමන් අර මොකාද ගස් ගෙම්බා වගේ නට් බුරුල් වෙලා තමයි අර උඩ කතාව කිව්වේ...

          ඇත්ත මම හැමදාමත් හිටියේ රැඩිකල් විදියට.  කවදාවත් මට එහෙම අනුන්ගේ දේවල් හින්දා මගේ ජීවිතය වෙනස් කරන්න ඕනේ කියලා හිතිලා තිබුනේම නෑ. නැත්තේමත් නෑ. මම අනිත් අය කියන දේවල් ඕනෙවටත් වඩා අහන කෙනෙක්. ඒත් ඒවා තද විශ්වාශයක් යාළුකමක් ආදරයක් අස්සේ විතරයි. නැත්නම් දෙවියෝ කිව්වත් නෑ. කොටින්ම මගේ බහුතරයක් ප්‍රේමවන්තයෝ විශේසයෙන්ම එරික් බෝයි මාව වෙනස් කලේ අන්න එහෙම. එයාට පුළුවන්කම තිබුනා එක වචන දෙක තුනකින් මාව වෙනස් කරන්න. කියපු වචන තමයි ආන්ටි ඔයා මට ගොඩාක් ආදරෙයි නේ ඉතින් ඒක හින්දා අපි මේක කරමු අරක කරමු මට අර ගිෆ්ට් එක අරන් දෙන්න වගේ. වයස දෙකේ තුනේ ඉඳන් එරික් බෝයි ආන්ටිව එයාට ඕන විදියට හදාගත්තේ එහෙමයි. ඕවා අපි කාටවත් කිව්වට විශ්වාස කරන්නේ නෑ නේ... :) ඒත් එරික් බෝයි කවදාවත් ආන්ටිට සිගරට් බොන්න එපා කීවෙ නෑ. එරික් බෝයි එක්ක ඉන්න වෙලාවට එයාගෙන් අහලා තමයි ආන්ටි ස්මෝක් කලේ. ඒ වෙලාවට එය හරි මැනර්ෆුලි ඉට්ස් ඕකේ කීවා මිසක් ඩැරන් ටිකක් ලොකු වුනාම කීවා වගේ ආන්ටි යූ ආ ඇන් ඉන්ටෙලිජන්ට් ලේඩි සෝ යූ ශුඩ් නොට් ස්මෝක් කිව්වේ නෑ... (ඩැරන් එහෙම කිව්වේ එයාගේ ස්කෝලෙන් ඉගෙනගත්ත ඒවා. ) ඒ වෙලාවට එයාට ක්‍රෙඩිට්ස් දීලා නිකම් හිටියාට සිගරට් නොබොන්න තරම් ඒක හේතුවක් වුනෙ නෑ. ඒමි එක්ක ජීවත්වෙන කාලේ මම සිගරට් වලට ඇබ්බැහි වෙලාම හිටියේ නෑ. ඒත් ඉඳලා හිටලා ස්මෝක් කලා. ඒත් ඒමිත් කවදවත් එයා සිගරට් නොබීවට මට එපා කිව්වේ නෑ. එයාගේ අදහස වුනේ මගේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඒක කරගත්තට කමක් නෑ කියන එකයි.

 අලුත් ප්‍රේමවන්තයා සිගරට් බොන්නේ නෑ. එයා මුලින්ම මාව අඳුනගත්තේ දවසෙත් බය වෙලා මම ස්ට්‍රෙස් වුනාම සිගරට් බොන හැටි දැකලා. ;)  එයාට මට අගය කරන්න පුළුවන් බොහෝ හොඳ පුරුදු තියෙනවා. කොටින්ම කාන්තාවක් විදියට මම ගෙවන මගේ ජීවිතයට හැඩ ගැහෙන්න එයාටයි අමාරු. ඒත් එකට ජීවත් වෙන්න තීරණයක් ගත්තම අපි අනෙකා වෙනුවෙන් කරන කැපවීම් තියෙනවා. කොටින්ම අපි දෙන්නම පොඩි එවුන් නොවෙන හින්දාත් විශේසයෙන්ම කලින්ට වඩා මට දැන් ජීවිතේ බොහෝ දේවල් ගැන අත්දැකීම් තියෙන හින්දාත් මම මගේ හදාගන්න ඕනේ වැරදි ගැන ලොකු අවබෝධයකින් ඉන්නේ. නොකරන එක වෙනම වැඩක්. ප්‍රේමවන්තයාගේ ඉල්ලීම වුනේ කෝපි බොන එක අඩු කරන්නයි, සිගරට් බොන එක නතර කරන්නයි, වැඩියෙන් ස්පෝට්ස් කරන්නයි, කෙට්ටු වෙන්නයි වගේ ලේසියෙන් කරන්න පුළුවන් දේවල්. එයාට මාව තේරුම් ගන්න මගේ රැකියාවේ තියෙන කරදරකාර ස්වභාවයත් මේ වෙද්දි හොඳට තේරෙනවා. වෙනදාට වගේ වැඩ ඉවර වෙච්ච ගමන් කෝපි කතා නෑ. ක්ලබ් ගානේ කෝපී කඩ ගානේ රවුම් ගහන්නේ නෑ. කෙලින්ම ගෙදර එන්න මම ගෙදර ඉන්නවා ඔයා එනකම් කියන තැනට ප්‍රේමවන්තයා මාව ගෙනාවා. අපි දෙන්නාගේ රැකියාවන් වල ටයිම් වෙනස් හින්දා එයා ඩේ ටයිම් ගෙදර. ඒකෙන් වෙන්නේ මාත් පුළුවන් තරම් ඉක්මණට ගෙදර එන එක. අපිට කෑම හදන්න, වයින් බොන්න, ජොගින් යන්න ශොපින් යන්න හා අපි වෙනුවෙන් තියෙන කාලය වැඩි කරගන්න උත්සාහකරපු එකයි. ඒ සිස්ටම් එක මට කරදරයක් නෑ.
     ඒ වුනාට පාන්දර දෙකට නැගිටලා ප්‍රේමවන්තයාට කෝපි හදන්න තරම් ප්‍රේමය බරපතලයි... ( ඉතින් අර පත්තරයා හිනාවෙන්නේ අන්න ඒවට ;( ඌට අනුව මම දැන් නිකම්ම නිකම් ට්‍රැඩිසනල් කාන්තාවක්...)

       අහෝ මගේ සත්‍ය ප්‍රේමය...!!!!!

මට හැමදාම ප්‍රේමය කියන තැන වෙනස් වෙන්න පුළුවන්කමක් තිබුනා. තියෙනවා. කිසිම ප්‍රේමවන්තයෙක් එක්ක මට විසඳගන්න බැරි ප්‍රශ්න තිබිලා නෑ. කොටින්ම ජීවිතෙන් වැඩිම කාලයක් ඒමි එක්ක ජීවත් වෙච්ච මට අපි දෙන්න රණ්ඩු වෙච්ච දවසක්වත් මතක නෑ. අනන්තවත් වෙලා තියෙනවා. ඒත් මට තරහා ගියාම ඒමි කවදාවත් මට මොකුත් කිව්වේ නෑ. ඒ වගේමයි මාත්. එයාට තරහා ගියාම මම වචනයක්වත් කිව්වේ නෑ. ඒ වගේ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් අපි දෙන්නටම තිබුනා. මොන දේ වුනත් රෑ නිදාගන්න යද්දි අපේ ප්‍රශ්න ඉවර කරගන්න අපි දෙන්නම පොරොන්දු වෙලා හිටියා. ගොඩාක් වෙලාවට ඒමි මූණ එල්ලගෙන හිටියත් මගෙන් ඒකට එයාට ඉඩක් හම්බවුනේ නෑ.  මගේ ප්‍රේමය හැමදාම ප්‍රේමය වෙනුවෙන් පෙනී හිටියා. ඒමි නම් ටයිම් වලට වැඩ කරන මනුස්සෙක් කියමු අර ලංකාවේ ප්‍රේමවන්තයා රෑට කෑමට යන්න එනවා කියුවම රෑ එක විතර වෙනකම් ගෙදර ආවේ නැතත් ඒ වෙනකම් මල පැනලා වටේ ඉන්න එවුන්ව කුඩු කලත් කවදවාත් ගෙදර ආවම මගේ ස්ට්‍රෙස් එයාගේ පිටින් යැව්වේ නෑ. ඒවට ඉතින් අපේ මල්ලිලාගෙන් මම ඇතිවෙන්න අහගන්නවා මූ අපිට තමයි බනින්නේ ඕනේ එකකට කොල්ලට මොකුත් නෑ ඒ පාට්ස් කියලා. ;)
 
    දැන් මට යාලුවෝ හැම එකාම විහිළු කරනවා. මගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන විදිය දැකලා. කොයින්ම මගේ ඩොක්ටර් (මගේ හොඳම යාළුවෙක්) මේ ඊයේ පෙරේද දවසක කන්සල්ටින් එකකට ගිය ගමන් මචන් මම ලිවින් ටු ගෙදර් ගියා කීව ගමන් පිස්සුද මචන් මොන මඟුලකටද නිදහස නැතිකරගත්තේ කියලා අහලා පැය ගාණක් හිනා වුනා. ඒ තමයි කලින් අපි හිටිය හැටි. (එයත් සින්ගල් මදර් කෙනෙක්.) ඒත් මගේ සතුට ගැන, මගේ වෙනස් වීම ගැන මේ බලපොරොත්තු නොවුන ප්‍රේමය ගැන මගේ යාළුවෙක් විදියට එයාට තියෙන්නේ හරි සතුටක්. මගේ සෞඛ්‍යය තත්ත්වයන් ඔක්කොම දන්න එයා කවදත් වගේ මගේ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. කොටින්ම බටහිර ජීවිතවලින් ෆෙඩ් අප් වෙලා ඉන්න අපිට මේ ඈත ආසියාවේ ප්‍රේමවන්තයෝ බොහොම වටිනවා.... ! ඔන්න කළු කොල්ලන්ට චාන්ස් එකක්...! (මේක මෙහේ කොල්ලන්ටත් ඔය විදියමයි. අපි මොකටද ගැහැණු ගැන විතරක් කතා කරන්නේ සාධාරන වෙන්න එපැයි? හික්ස්) කොටින්ම ඩොනතෙල්ලා කීවා වගේ මේ වයසෙදි මෙහෙම අපේ ජීවිතෙ එක පාරට වෙනස්ම තීරණයක් ගන්න තරම් ඒ තීරණය ගැන ලොකු සතුටක් තියෙන කාන්තාවක් වීම ගැනත් මට සතුටක් තියෙනවා. ඉස්සර බදිනවයි කීවම පිස්සුද අහපු අපිනේ මේ නේ? ;) 

  ආපහු අර පත්තරේ කීව කතාවට ආවම ඔව් මම රැඩිකල් නැතිව ඇති ඒත් මගේ ප්‍රේමය වෙනුවෙන් පෙනී හිටින්න මට හැමදාමත් පුළුවන් වීමම මගේ දිනුමක් කියලා හිතන්න මට පුළුවන්... ඒක අර අනිත් උන් හිනා වුනාට මොන තරම් වැඩක හිටියත් නමේ වෙද්දි වට්ස් ඇප් එකක් දෙකක් හීනියට වචන තුන හතරක වුනත් කෝල් එකක්, බ්‍රේක් එකක් හම්බ වුන ගමන් මොකෝ කරන්නේ අහන ටෙක්ස්ට් එකක් කෑම කන්න ගියාමත් ඔයා කාලාද ඉන්නේ කෑම හරියට රත් කරගත්තද අහන, මොන ක්ලයන් මීටින් හිටියත් ෆෝන් එකට ටෙක්ස්ට් එකක් කියලා දැණුන ගමන් කියවන රිප්ලයි කරන, ගෙදර එනකම් නොඉවසිලිමත් වෙන කොයි තරම් මහන්සි වෙලා ආවත් විනාඩි කෑම හදන්න, කොහේ ගියත් මොනව හරි දැක්ක ගමන් ආ මේක ගෙදර ගෙනියන්න ඕනේ කියලා හිතන, කොල්ලව එරික් බෝයිගේ තැනට දාලා ට්‍රීට් කරන මහ බොළඳ ප්‍රේමවන්තියක් මම.... එහෙම මාව මෑත කාලයේ වෙනස් කරපු එකම කෙනා තමයි මගේ ප්‍රේමවන්තයා. කොටින්ම යකෙක් වගේ හිටපු මාව පොඩි එකෙක් කරලා දෙකේ පන්තියේ ප්‍රේමවන්තිය කලේ එයා. හරි නම් මීට වඩා සෙලිබ්‍රේට් කරන්න ඕනේ අර පත්තරයා මට හිනාවෙන වෙලේ.... ;)

 (  ප. ලි. තෝ එනකම් අපි මඟ බලන් ඉන්නවා. වරෙන්... අපි සෙලිබ්‍රේට් කරමු.... )

 මොනවා වුනත් ඇත්ත පෙන්නලා දුන්නට තැන්කිව් මචන්.... ;)
    


   

1 comments:

උමතුව බොහොම ආදරණීයයි....!


 ඊයේ උදේ දුර ඔෆීස් එකක කන්සල්ටේසන් එකක් තිබ්බ හින්දා ඒත් එක්කම තවත් ඇපොයින්මන්ට් දෙකක් දාගත්තා. කාලෙකට පස්සේ ඔෆීස් යන හින්දා එක දවසෙන් ටිකක් වැඩිපුර වැඩ කරගන්න.

කොහෙද මේ දවස් වල මම ෆුල් ටයිම් බිසි නේ. ;)
 උදේ ගිය ඔෆීස් දෙකම ටිකක් ඉක්මණින් වැඩ කරගන්න පුළුවන් වුනා. 12.30 ට තිබ්බ ක්ලයන් මීටින් එකත් ක්ලයන්ගෙන් කැන්සල් වුනා. එවෙලේ මට එක පාරට මතක් වුනේ ඊගාව ක්ලයන් ඉක්මණට මීට් වෙලා ගෙදර යන්න ඕනේ කියලා. ඒ ක්ලයන්ට කෝල් කලාම එයා එන්න පැය දෙකක් වගෙ අයයි කීවම හරි එහෙනම් ගෙවල් ළඟට එන්න කියලා මම ඉක්මණින් ගෙදර එන්න ආවා.

 ප්‍රේමවන්තයට කලින් දවසේ කෑම හදලා ෆ්‍රිජ් එකටත් දාලා තිබ්බා තවම මගේ ගෙදරට හුරු නැති ඔහුට සහනයක් වෙන්න. ඊටත් වඩා ප්‍රේමයෙන් උතුරලා ඉන්න මට ඒක ආශ්වාදයෙන් කරන්න පුළුවන් කමකුත් තිබුනා. උදේ නමේට  වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාවට ටෙක්ස්ට් වලින් කිරි එකක් රත් කරගන්න, මැශින් එකේ හදලා තියෙන කෝපි කතා ආදරේ එක්ක වට්ස් ඇප් වලින්, එහෙන් මෙහෙන් තත්පර කිහිපයක් අස්සේ ක්ලයන්ලට රහසින් මාරු වුනා. එහෙම තමයි. ප්‍රේමය හරි පුදුමයි.
 ඒ වගේ ප්‍රේමවන්තයත් මට පාළුයි ඉක්මණට එන්න කියද්දි 'අමෝරේ අද නම් කීය වෙයිද දන්නේ නෑ ඔයාට දවල්ටත් තනියම තමයි කෑම ගන්න වෙන්නේ අපි හවස් වෙලා ඇවිත් එකට කෝපි බොමු ටිකක් රෙස්ට් කරමු වගේ දාසයේ ප්‍රේමවන්තිය වෙලා අනේ අදවත් ඉක්මණට ගෙදර යන්න පුළුවන් නම් කියලා මට හොරෙන් මම උමතුවෙන්.

  වෙනදා ගෙදර එන ගමන් මම කෙලින්ම සුපර්මාකට් එකට යනවා. ඒත් ඊයෙ එහෙමත් නෑ. ප්‍රේමවන්තයා නිදි ඇති කියලා ( මම එහෙමයි කියලා ගියේ) සද්ද නැතිව දොරත් ඇරගෙන ගෙට එද්දි මෙන්න ප්‍රේමවන්තයා ඇහැරගෙන. මුළු ගේම රිෆ්‍රෙශ් වෙලා. කිචන් එක දැක්කම මටම පුදුමයි.

 මදැයි මම එයාව සර්ප්‍රිස් කරන්න ලන්ච් වලට ගෙදර ආවා.
 අනේ මගේ දුප්පත් හදවත. තව පොඩ්ඩෙන් මට නතර වෙන්නේ හොස්පිටල් එකක. ;)

මට මතක නෑ මම එහෙම සර්ප්‍රයිස් වෙච්ච දවසක්... සමහරවිට මීට අවුරුදු දහයකට පහලොවකට කලින්.... එහෙමත් නැත්නම් මීට කලින් ප්‍රේමයක මුල්ම ජීවත්වීම පටන්ගත්ත කාලේ මිසක් එහෙම දේවල් මට හීනයක් විතරයි වෙලා තිබුනේ.  

        ජීවිතේම කරදරකාර රස්සාවක් වෙනුවෙන් වෙන්කරලා හිටපු මට මගේ ජීවිතයක් වෙනුවෙන් කාලයක් ලැබෙන්නේම නෑ. රෑ එකට දෙකට, අටට නමේට, නොයිසි ක්ලයන් කෝල්ස්, යාළුවෙක් උනත් මචන් අර වැඩේ බලනවද කියනවා මිසක් මම වෙනුවෙන් කවුරුත් එහෙම පෙනී හිටපු ජීවිතයක් මට තිබුනේම නෑ විශෙසම කීප දෙනෙක් හැර. කොටින්ම අන්තිම අවුරුදු පහ ප්‍රැක්ටිස් කරන්න ගත්තට පස්සේ ඒක විතරමයි වුනේ. කොච්චර බ්ලේම් කලත්, මගේ මල්ලි හා මගෙ හිතවතුන් මට බැන්නත්, අසතුටු වුනත් අන්තිමේට මමවත් මනුස්සකම අතහැරියම කොහොමද කියන තැන ඉඳන් මම මගේ ජීවිතේ අනුන් වෙනුවෙන් ජීවත් වුනා. කොටින්ම මට මාව මතක තිබුනේම නෑ. ඉඳලා හිටලා මාව මතක් වුනාම මම වෙනුවෙන් පර්ෆියුම් ශොප් එකක පැය ගණන් අතේ සල්ලි තියෙනකම් ශොපින් කලා. මම ආස සපත්තු එකක් පිට එකක් තියාගන්න ඉඩ නැති වුනත් ආශාවෙන් ගෙදර අරන් ආවා. ඇඳුම් කබඩ්ස් ගැන මොන කතාද? ටිකක් කල් යනකොට මට එවා මදි වෙනකොට හූල්ල හූල්ල ලෝභකමෙන් බලන් හිටියා. වයින් කඩවල් වල මගේ ආසම කලෙක්සන් එක්ක පැය ගණන් ඩීල් කලා. ගෙදර කවදාවත් තනියෙන් නොබිව්වට ගෙදර බාර් එක පිරෙව්වා. යාළුවෝ බේබි සිට් කලා. කොටින්ම මම සතුට හොයාගෙන ගියා හැමදාම. ඒත් කොහෙදිවත් මට සතුට හම්බවුනේ නෑ. ඒ හැමදේම  විනාඩි කීපයකට පමණක් සීමා වුනා. කෝපි කඩ අස්සේ වයින් බාර් අස්සේ මගේ ජීවිතය ඔහේ දිය කලා. යාළුවෝ අස්සේ මචන් උඹ වගේ එකෙක් බදින එකා කොයි තරම් ලකිද කියලා අහගත්තා. ඒත් මට එහෙම හිත නතරවෙන තැනක් කවදාවත් හම්බ වුනේ නෑ. ඒකෙන් කියන්නේ නෑ මම සේන්ට් වුනා කියලා. ලස්සන කොල්ලෙක් දැක්කම ඉබේ දෙපාරක් බලන මොන විදියකින් හරි ඩේට් එකක් හදාගන්න මට පුළුවන් වුනා. ඒත් ඒ කිසිම තැණක හිත නතරවුනේ නෑ. ඒකෙන් වුනේ අනිත් අයගේ හිත් රිදුන එක විතරයි. ඒත් මම මොනවා කරන්නද මම හොයන දේවල් නැතිව ඔහේ ජීවත් වෙන්න මට උවමනාවක් තිබ්බේ නෑ. ජීවත් වෙන එක කොහොමත් මට මගෙ රස්සාවෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවනේ කියලා ඔළුවත් ඉදිමිලා හිටියේ... ;)

ඒත්, ප්‍රේමවන්තයෝ  අපි වෙනුවෙන් දෙවියන්ට පුළුවන් එවන්න.  අවුරුදු හතලිහේදි වුනත්.

  කලින් බොහොම හිතවත් යාළුවෝ එහෙම කිව්වම මම හිනා වුනා. කොටින්ම මොනිකා නිතරම කීවේ රංගි උඹ ජීවිතේ පටන් ගන්න ඕනේ බලපන් මම මම හිතුවද මට මෙහෙම වෙයි කියලා. යාළුවෙක් විදියට මාව හොඳටම දන්න, ඕනේ වුනාම මගෙ අම්මා වෙන, ඊට එහාට ගිහින් මගේ මේ රටේ ඉන්න බැක් බෝන් වෙන මොනිකා කියන්නේ මගේ ලයිෆ් ටයිම් මෙන්ටර්. ඒක යාළුකමකටත් එහා ගිය ගරුත්වයක් එක්ක තියෙන හින්දා කොටින්ම හොර වැඩක් හෙම කලාම මම වෙවුලන තරමට බයෙන් ඉන්නේ. අපේ මල්ලිටත් ඒ වගේ තමයි. අනිත් අයට පොර ටෝක් දුන්නට ඒ දෙන්නට නම් ඒ මොකුත් නෑ.

    ඒ හීන වල හිටපු ප්‍රේමවන්තයා දැන් ඉන්නවා මගේ එහා පැත්තේ. ඔව් අර කළුපාට කොල්ලන්ට කැමති ඒසියන් ටයිෆ් බ්ලැකි ගයි. කොහෙද ලංකාවේ කොල්ලෝ හම්බ වුනේම නෑ නෙව හිත නතර වෙන.
   (හම්බවෙච්ච එකත් එහෙම ස්ටේබල් ජීවිතයක් පටන් ගන්න තරම් මට කික් එකක් ගෙනාවේ නෑ. ඒත් හැමදාමත් වගේ මගේ වෙනුවෙන් අනෙකාට ලැබෙන ස්ටේබල් ජීවිතයක් වෙනුවෙන් ඒ ප්‍රේමය වුනත් ක්‍රියාත්මක කරන්න මට පුළුවන්කම තිබුනා. ඒත් අහම්බෙන් ඔහු යන්නම ගියා. ඒක ගැන මට තියෙන්නේ ලොකු දුකක්. සමහරවිට මට ඔහුගේ ජීවිතයට තේරුමක් දෙන්න පුළුවන්කම තිබිලත් මම ඒක කලේ නෑ කියලා පසුතැවීමක් වගේ දෙයක්. ඒත් ඒක මල්ලිටයි මටයි අනුව අපේ විදිහේ තීරණයක්. ලෝකේ කවුරු මොනවා කීවත් මාව තේරුම් ගන්න අපේ මල්ලි, ඔහුගේ මරණය අහලා මට කිව්වේ අක්කා යූ හෑව් නතින් ටු වොරි. වී නෝ වට් වී වෝන්ටඩ් ෆෝ හිම්. සෝ බී ස්ට්‍රෝන් කියලා. කොටින්ම ඔහුගේ මළගෙදරට ගිහින් මම හිත හදාගත්තේ මල්ලිගේ ඒ වචන වලින්. )

   ප්‍රේමවන්තයා ගැන බොහෝ ප්‍රේමණීය කතා මට තියෙනවා. හිටි ගමන් අවුරුදු හතලිහේ මගේ දුප්පත් හදවතට ඔරොත්තු නොදෙන තරම්. ඒ ප්‍රේමය අර හදවතෙනුත් එහාට ගිහින් හීනෙන් වුනත් දැනෙන එකක්. මට හිතන්න අමුතුවෙන් උත්සාහ කරන්න දෙයක් නෑ. ඒක  ක්‍රියාවට ගේන්න විතරයි වෙන්නේ. හිටිගමන් ස්කූල් ටීචර් වගේ මගෙ පොයෙටික් ඉටෑලියන් වලින් අමාරුවෙන් දේවල් තෙරුම් කරන්නත් වෙනවා. ටීචර් කොයිතරම් හොඳයිද කියනවා නම් ගෝලයා මේ වෙද්දි සති කිහිපයකට කලින්ට වඩා ලැන්වේජ් හොඳට ඉම්පෘව් කරගෙන. මගේ යාළුවන්ට අනුව ඔහු හරිම පව්... උන් මගේ යාළුවෝ වුනාට පව් හිතෙන්නේ මගේ කොල්ලා ගැන. බලාගෙන රංගිට සෙට් වෙනවා කියන්නේ උඹේ අවසානේ මචන් කියන යාළුවෝ මට ඉන්නේ. ඒකනේ උන් මගේ යාළුවෝ වෙන්නේ. වෙනදා කෝපි කතා වල යාළුවෝ මචන් මොකද වෙන්නේ ආදරේ ඔය තරම් උඹව කුඩු කරයි කියලා අපි හිතුවේ නෑ මචන් වරෙන් ක්ලබ් එක පැත්තේ කියලා හවසට හවසට ස්පොයිල් කරන ඒත් මගේ සතුටේ අසීමිත කොටස් කාරයෝ වෙන යාළුවෝ වෙන, හිත රිදෙන සම්බන්දතා වලට මෙඩියේසන් කරන හොඳ යාළුවෝ මට ඉන්නවා.

 ඔබට බොහොම ස්තුතියි මගේ ප්‍රේමවන්තයෝ.... හීන දකින්න පුළුවන් කියලා මට ආපහු කියලා දුන්නට. මහ ලොකු බලාපොරොත්තු නැතිව වුනත් ප්‍රේමයෙන් මත්වෙන්න පුළුවන් කියලා දෙනවට. ආදරෙන් මාව මත් කරනවට. වෙනද හැම් සැන්විච් එක්ක බොහෝ දවස් ගෙවුන මට ආපහු හොඳ කෑම හදන්න, කන්න හේතුවක් වෙනවට. මගෙ වටපිටාවම ඒ සතුටෙන් පිරිලා. මගේ ඩොක්ටස්ලා, මගේ මල්ලි, යසී බෝයි, යාළුවෝ හා එකී නොකී බොහෝ අය. ක්ලයන්ලා වුනත් මිස් දැන් හරි සතුටින් නේද අහනකොට මගේ පෞද්ගලික ජීවිතය එලියට නොගේන මට වුනත් ඉබේට අර මගේ පොයෙටික් ඉටෑලියන් මාව එලිය ගේනවා. කොහෙද ඉටෑලියන්ස්ලා තරම් ප්‍රේමය ගැන වෙන කවුරු කියන්නද?

 ඔව් මේ ආදරය මාව උමතු කරලා. ඒ
උමතුව බොහොම ආදරණීයයි...

 
  

12 comments:

ඔබ ඇවිත් ආයෙමත්....

ඔබ ඇවිත් ආයෙමත්....


 බොහෝ කාලෙකට කලින් ඔබ ආවෙත් මේ විදිහටමයි.

හිනාවකින්, කතා කරන ඇස් වලින්, අනෙකාගේ හිත හඳුනගන්න, අනෙකාව දරාගන්න,
අනෙකාගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් දරාගන්න පුළුවන් ඔබ ආයෙමත් ඇවිදින්....
 හැමදාමත් වගේ සීත නොවැම්බරයේ....

කෝපි එකක් අස්සේ, සුපර් මාකට් එකක මම ගෙවන්නම් පොඩ්ඩක් ඉන්න කියන තරමට
හැමදාම හවසට ජොගින් යන්න සතියට එක දවසක් මදි ,
අපි රෑ වෙලා යමු ඔයා වැඩ ඇරිලා ආවම මම එන්නම් තනියට,
 ඔයා දුවලා එනකම් මම පාක් එකේ බංකුවකට වෙලා ඉන්නම් මහන්සි නම්...
කොන්ඩේ ටිකක් වවන්න,
 ලස්සන වෙන්න අර ඉස්සර වගේ,
 සැලෝන් එකට යන්න මම ආසයි ඔයා ලස්සනට ඉන්නවා දකින්න,
වැඩ ඉවර වෙලා ක්ලබ් වල යන්න එපා ගෙදර එන්න මම ඉන්නවා බලාගෙන ඔයා එනකම්,
 සිගරට් බොනවට මම කැමති නෑ දැන් මම ඉන්නවානේ ස්ට්‍රෙස් අඩු කරන්න,
ඔය තරම් සල්ලි මොකට වියදම් කරනවද,
කෝ ඉතින් සතුට....
ඔයා ඉතිරි කරන්න සල්ලි ටිකක්
ඔයාට වැඩ කරන්න බැරි වුනාම ගන්න,
මේ සල්ලි ගන්න ගෙදරට බඩු ගේන්න,
  මටත් ඉඩක් දෙන්න අපි දෙන්නගෙම ජීවිතේ මේ කියන
 ප්‍රේමයෙන් මත්වෙලා ඔබ ආයෙමත් ඇවිදින්

 ඔබේ ඇස් වලින් මත්වෙලා ඉහිරිලා
නිදහස් කරන්න කවදාවත් හිත හදාගන්න නොහැකි බව දැන දැනත්,
ඔබ යන්න ඇවැසි දවසක කියනකොට
ඉහිරෙන කඳුළු අස්සේ,    මම ආස නෑ ඔයා දුක් වෙනවට
ආයේ නම් අඬන්න එපා යන්න නෙමෙයි ආවේ කියන,
ප්‍රේමය ඔබ ආයෙමත් ඇවිදින්...



 රෑ මහ පාන්දර ඇහැරෙන
කෝපි කෝප්පයකින් ඔබේ හිත ආදරෙන් තෙමන
ඔබට සුභ දවසක් පතන....
ආයෙමත් පරණ පුරුදු ජීවිතේ උදේට....
 ඔබ ගෙදර එනකොට කෝපි කෝප්පයක් උදේ කෑමත් එක්ක ආදරෙන් බලන් ඉන්න එක.....
 එකම එක කෝප්පෙන් කෝපි එක බොන එක,
එකම එක වීදුරුවේ අපි දෙන්නගෙම වයින්...
පොඩි එකෙක්වගේ මගේ අසීමිත ආදරය ඉවසන,
 එරික් බෝයිටත් එහා ගිහින් සතුටින් ඉපිලයන
ඔබ ආයෙමත් ඇවිදින් මේ සීත නොවෙම්බරයේ...

එකම ටවල් එක බෙදා ගන්න
එකම කොට්ටේ ඇඳේ චූටි ඉඩක් විතරක් අපි වෙනුවෙන්... කබඩ් වල ඔබට ඉඩ වෙන්වෙන ...
බාත් රූම් එකේ මගේ දේවල් අස්සේ ඔබේ ආම්පන්න...
 නොකියාම නොහිතාම ඉඩ අහුරගෙන....
මම ගෙදර නැතිවෙද්දි මුළු ඇඳම ඔබේ වෙන,
අනේ ප්‍රේමය ඔබ කොයි තරම් නම් සුන්දරද....
අමතක වෙලා හිටියේ මට ඔබ ගැන....


ජීවිතය කියන්නේ මේකයි...
ගෙවෙන මොහොත විතරක් ජීවත් වෙන එකට...
මහලොකු බලාපොරොත්තු ගොඩාක් නැති,,
 ඔබ විතරක් ඉන්න....
 ඔබේ ප්‍රේමයෙන් මත් වෙන,,,,
ඔෆීසියල් ප්‍රේමයක් මේ.... ලෝකෙටම කියන්න හැකි...

මහ ගොඩක් ප්‍රේමවන්තයෝ හිත් රිදොගෙන බොහොම...
මොනා නම් කරන්නද මට ඕනේ එකම දේ තමයි මේ....
කෝ හිතට කොන්ට්‍රෝල් බට්න්....

ආත්මීය ප්‍රේමයක කොටස් කාරයාව
 නිතර නිතර සිහි ගන්වන මහ උමතු ප්‍රේමයක් ඔබ....
 ඒ ආත්මීය ප්‍රේමය ඔබට සුබ පතන....
ඔෆීසියල් ප්‍රේමයකට ඔබට ඉඩ හදාදෙන
 

2 comments:

Gulab Jamun !!!!!!!

වචන වලින් නොකියන දේවල් කොයි තරම් තියෙනවද?




ආයෙමත් ජීවත් වෙනවා කියලා දැනෙන මොහොතක් මේ.

ඒක ජීවත් කරවන්න උපරිම බලාපොරොත්තුවකුත් තියෙනවා.
හරියට අවුරුදු දහයකට පහලොවකට පස්සේ සතුට කියන්නේ මොකක්ද කියලාවත්මතක නැතිව හිටපු මට ජීවිතේ මම බලාපොරොත්තුවෙන විදිහේ හීන් සතුටක්....
බලාපොරොත්තුවක්...
 මගේම කියන්න පුළුවන් ප්‍රේමයක්...
ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා මම හරියටම නිර්වචනය කරලා නැතිවත් ඇති....
ඒත් ඒ බැඳීම බොහොම නිදහස් එකක්...
අවුරුදු විස්සේ ප්‍රේමවන්තියක් නොවී බොහොම මැදිහත් සිතින් බලන්න පුලුවන් ප්‍රේමණීය ප්‍රේමයක්....
සතුට විතරක්ම හොයාගෙන යන මට නැවතෙන්න හිතෙන ප්‍රේමයක්...

හරියට මේ පහලින් තියෙන පින්තූරේ වගේ....

කවදාවත් පැණිරස ගැන ආස නැති වුනාට අදින් පස්සේ මට ගුලාබ් ජමුන් වුනත් රසවත් වෙයි...
බොහොම ස්තූතියි මාව සතුටින් තියනවාට...
ඊටත් වඩා සතුට කියලා දෙයක් තියෙනවයි කියලා මතක් කරලා දුන්නට....
 ආදරෙන් මාව උමතු කරනවාට....
 ඒ ආදරේ සතුටින් මට ඔබ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මගේ වගේ දැනෙව්වට...

4 comments:

එහෙන් මෙහෙන් කතා.... මිනිස්සු

 
    කාලෙකට කලින් බ්ලොග් කියලා දෙයක් තිබුනාද කොහෙද නේ. . ඒත් දැන් වෙද්දි බොහෝ අයගෙන් නොලියවෙන තරම්.


 මාත් අනුන්ට දොස් කීවට එහෙම තමයි. ඉස්සර වගේ දැන් ආසාවෙන් කරන කිසිම දෙයක් නෑ. ඔක්කොම ඈලියාවට. එක්කෝ වයසේ වැරැද්ද වෙන්න ඕනේ. කොහෙද හෙට අනින්ද්දට මට අවුරුදු පහලොවක් වෙන්න යනවානේ. ඉතින් ඔය වයසේ වැරැද්දේ අවුලක් කියලාම සුවර් කරගෙන මාත් ඔන්නොහේ වෙන දෙයක් වුනාවේ කියලා බලාගෙන ඉන්නවා.

      ගෙවුන බොහෝ දවස් වල ලියන්න එක එක දේවල් මතක් වුනත් පස්සේ ඒවා අමතක වෙලාම ගියා.  ඒත් පසුගිය දවස නොලියාම බැරි දෙයක් වුනා. ඒ තමයි බලාපොරොත්තු නොවුන විදියට අතීත කාලේ ලංකාවට  ගිය මනුස්සයෙක්ව හම්බවුන එක. කොටින්ම අතීත ලංකාව ගැන මට වඩා බොහොම විස්තර දන්න කෙනෙක්. ඒ කාලේ ප්‍රසිද්ධ එයා ලයින් එකක පයිලට් කෙනෙක් වුන ඔහු තවමත් ඒ අතීත ලංකාවට ආදරෙ කරන හැටි හරි අපූරුයි. අදටත් ඔහුගේ හීනය වෙන්නේ ලංකාවට ගිහින් ජීවත් වෙන එක. ජීවිතයේ සැඳෑසමයේ ඉන්න කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවෙන ජවයක් එක්ක ඔහුගේ හීනය හැබෑ කරන්න උදව් වෙන්න කියලා මගෙන් ඉල්ලුවා. 

සමහරවිට මට ඒක කරන්න පුළුවන් වෙයි බැරිවෙන්නත් ඉඩ තියෙනවා. කොටින්ම ඔහුට ඕනේ ලංකාව තව දුරටත් නෑ කියන එක දන්න හින්දා මම පත්වෙලා ඉන්නේ දෙගිඩියාවකට. 

      මේ කියන්නේ හැටේ දශකයේ අග හාහැත්තෑව දශකයේ මුල්ම කාලේ ගැන. ඒ කාලේ අද වගේ එයාප්ලේන් වල කිලෝ මීටර් දහදාහ පහලොස්දාහ එකදිගට යන්න පුළුවන් කමක් තිබිලා නෑ. අද වගේ දියුණු තාක්ෂණයක් නොතිබුනු ඒ කාලේ බොහොම අහම්බෙන් තමයි ඔවුන් ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ. ඒ කාලේ එන්ජින් මේන්ටන්ස් වලට නතර කරන්නේ හොන්ග්කොන්ග් වගේ තැනකලු. මට ඒ නම හරියටම මතක නෑ. ජපෑන් විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියාව වගේ දුර ඈත යන ප්ලේන් එකක් වුනත් ඔය ට්‍රැක් එකෙන් සර්විස් කරගෙනලු යන්නේ. 



    මොකක්දෝ මන්දා අවුලක් හින්දා ඒ දවසක ඔවුන්ට ඒ ස්ටේසන් එකට යන්න තරම් අවශ්‍ය කාලය තිබිලා නෑ. ඉතින් එහෙම තමයි ඔහු ලංකාව දකින්නේ. ඒක මහ රෑකලු. පොල් ගස් හා කැලෑවක් වගේ එකක් මැද මහ රෑ නතර කරපු ප්ලේන් එකෙන් බැහැලා කොළඹ ඉඳන් තෙල් ගෙනත් ගහනකම් ඔවුන්ට පහුවදා වෙනකනුත් ඉන්න වෙලා. (මේ කියන කාලේ ලංකාවේ බොහෝ දේවල් හා එයාපෝට් එක වුනත් අපි ඒවා දකින කාලෙට වඩා බොහොම වෙනස් කියලා මට තේරුනේ ඔහුගේ ඒ කතාවන් අස්සේ තමයි.) රෑ හින්දා ටිකක් බයෙන් හිටියත් උදේ පාන්දර එලිවෙනකොට ඔහුට පේනවලු මහප්‍රාණ විදියටම පැරඩයිස් එකක්. ඒක අද කාලේ අපේ විදියට නම් කැලයක් වගේ ඒකක්. ඒ වුනාට ඔහුට ඒක පෙනිලා තියෙන්නේ බොහොම සුන්දරව. 

 
     ඔන්න ඔහොම තමයි ඔවුන් සුමානෙකට දෙකකට සැරයක් යුරෝපයේ ප්ලේන් මේන්ටනන්ස් වලට ලංකාවට අරන් ගිහින් තියෙන්නේ. දවස් දෙකක් තුනක් ඉඳලා රටේ සිරි නරඹලා නිවීහැනහිල්ලේ තමන්ගේ ගමනාන්තයට යන්නයි එමින් ගමන ආපහු ඒකම කරන්නයි වගේ. කොහොමහරි මොහු හින්දා තමයි අර එයා ලයින් එක ලංකාව තෝරගෙන තියෙන්නේ. 

     ඒ කාලේ ඉතින් ටාජ්, ඔබරෝයි, ඉන්ටකොන්ටිනෙන්ටල් කාලේනේ.  

   ඔය හරියටම ඉංග්‍රිසි කතාකරපු නෑයො හා පුද්ගලයෝ හිටියේ ඔය හොටෙල් වලනේ.  කොහොමත් ඉස්සර මට මතකයි පොඩි කාලේ ඒ අය එක්ක අපි හරියට කතාකරන්නවත් බයවුනා. නිකම් සුද්දෝ වගේ. ජීවත්වීමේ ස්ටයිල් එකේදි පවා. 

       ඉතින් මාර්ශියෝ මේ කියන කාලේ ඔහුට ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙත් ඒ වගේ අය. හොඳ වෙලාවට. ඒ එක්කම ඉතින් ඇත්දළ විකුණපු, මැණික් වගේ වටිනා කියන දේවල් අනවසර විදියට් රටෙන් පිට ගෙනියන්න උදව් කරපු මිනිස්සු ඕනේ තරම් ඒ කාලෙහ් ඉඳල තියෙනවා. කොටින්ම ඒ වගේ යුරෝප් එයාලයින් එකක් හරහා ට බිස්නස් එකක් අල්ලගත්තා කියන්නේ කොහොම සල්ලි හොයන්න ඇතිද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. 
  හොඳවෙලාවට මහින්ද මහත්තයාල බැසිල්ලා ඒ කාලේ නොහිටියේ. එහෙම වුනා නම් ඉතිනමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ... ;)

      ඒ කාලේ ටැක්සි වල සීට්ස්වත් නැහැල්ලු. අර යකඩ කෑලි විතරයිලු. පාක් කරල තියෙද්දි ගලවන් යන හින්දා ටැක්සි වල ඒවා ගලවලාම දාලලු නයිට් ඩියුටි එන්නේ. අර කියපු හොටෙල් වල ස්ටෑන්ඩඩ් එහෙම සෑහෙන හොඳයි වගේ ඒ කාල වල. කොහොමටත් ඉතින් ලංකාව අද තරම් දූශණය වෙලා තිබ්බ කාලයක් නෙමෙයිනේ මේ. අහන්න දෙයක් නෙමෙයිනේ ඒ මිනිස්සු ලංකාවට ආදරේ කරන එක. 
   
   කොහොමහරි ඇඩිසනල් නෝට් එකක් විදියට ලියන්න ඕන වුන දේ තමයි ඒ කාලේ එක එක රටවල් වලට යන්න අපිට අමුතුවෙන් වීසා ගන්න ඕන වෙලා නෑ. මාර්ශියෝ එහෙම තමයි, තමන්ගේ කැප්ටන් ප්‍රීවිලේජස් පාවිච්චි කරලා එයා ටිකට් බුක් එකෙන් එකක මලීකාගේ නම ලියලා මලීකාව මෙහෙට එක්කන් ඇවිත් තියෙන්නේ. (ඒ එනකොටත් එයාෆෝට් එකේ ඉමිග්‍රේශන් ඔෆිසර්ස්ලා සල්ලි ඉල්ලපු එක ඒ කාලෙත් වෙලා තියෙනවා.)

   මාර්ශියෝ ඉඩිඅමින්ට විතරක් නෙමෙයි බොහෝ ප්‍රසිද්ද පුද්ගලයන්ගේ ප්‍රයිවට් පයිලට් වෙලත් ඉඳලා තියෙනවා.   සමහර කතා අහද්දි නිකම් සුරංගනා කතා වගේ තමයි. ඒත් ලෝකේ බොහෝ රටවලට ගිය ඔහුගේ එකම බලාපොරොත්තුව ලංකාවේ ජීවත් වෙන්න. ඒ ටුවරිස්ට් කෙනෙක් විදියට හෙම නෙමෙයි. තවම කොල්ලෙක් වගේ තමන්ගේ විලා එකේ ගාඩ්න් එක තනියම මේන්ටන් කරන ගමන්, ගෙදරට දහයක් පහලවක් නෙමෙයි විස්සක් ආවත් විනාඩි දහයෙන් පහලොවෙන් කෑම හදලා දෙන්න වගේ දේවල් විතරක් නෙමෙයි ඔහුගෙන් ඉගෙනගන්න බොහෝ දේවල් මටත් තියෙනවා. පසුගිය දවසක ඒ ගෙදර ගියාම මට නිකම් මොකක්දෝ වගෙ වුනා. අපිට අඩු ගාණේ ඒවගේ ස්ප්‍රිට් එකක් කියලා එකක් ගැන හීනයක්වත් මවා ගන්න බෑනේ. 
         මාර්ශියෝගේ වයින් කැන්ටීනා එකක් තියෙනවා 1948 ඉඳන් වයින් තියෙන. මට නේද? නිකම් ක්ලාන්තේ වගේ ඒක දැකලා. ආයේ මාර්ශියෝටයි මටයි යාළුවෝ වෙන්න කිසි අමාරුවක් තිබුනේ නෑ. වයින් බෝතල් ටික නිකම් මගෙ වගේ දැනටමත්. කොහොමත් ඔහුත්, මගේ සදාදරණීය ටස්කන් වලින් ආව කෙනෙක්. ඉතින් සමානකම් බොහෝයි අපිට. 

  ගොඩාක් වෙලාවට මාර්ශියෝ හා බිරිඳ ඊලඟ පාර මම එක්ක ලංකාවට එයි. ඒත් හිතේ අමාරු හදාගන්න කලින්ම මම කියලා තියෙන්නේ දැන් ඔහුගේ හීනලන්තය නම් නෑ කියලා.

     
 

5 comments:

Usage Bills



     අද නම් ලියන්න යන්නේ එපා කරපුම මාතෘකාවක් ගැන.





    බිල්ස්. ඔව් අපේ usage bills


     මම ජීවත් වෙන්නේ single apartment එකක. වර්ග මීටර් 45ක් 50 වගේ. ලංකාව වගේ නෙමෙයි අපි ජීවත්වන නගරවල තදබදය ගැන හිතුවම තියෙන හොඳම සොලියුසන් එක මේක. අනික මම වගේ කම්මැළියකුට තවත් ලේසියි. ලොකු ගෙවල් වල ඉන්න ගියාම ගෙවල් අස් කරන්නයි දූවිලි පිහන්නයි, වීදුරු හෝදන්නයි, බිම අතුගාන්නයි, වැකුම් කරන්නයි, බිම හෝදන්නයි වගේ දාහක් දේවල් කරනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙමෙයි.


        මට එහෙම කිසි කරදරයක් නෑ. මම බෙඩ් සීට්ස් හෝන්නේ දවස් පහලොවෙන් පහලොවට. බෙඩ් එක (සීට් ගලවල) හදන්නේ දවස් හතෙන් හතට. අර මම නිදාගන්න පැත්ත අනිත් පැත්තට දාලා ඊලඟ දවස් හත අලුත් බෙඩ් ශීට් එකක වගෙනේ. ;) අපරාදෙනේ අපි පුරුදු වෙන්න එපැයි අඩුවෙන් සම්පත් වියදම් කරන්න. මම ඕවා අකුරට කරන හොඳ ළමෙක් ඔන්න. නැතිව කම්මැලිකම නෙමෙයි) අනිත් දවස් වලට උදේට නැගිට්ටම බෙඩ් එක හොරට හදනවා. ඒ කියන්නෙ ආර බෙඩ් ශීට් එක උඩට ඇදලා ලස්සනට තියනවා. හරි ලේසියි. අනික මගේ ඇඳේ ඉන්න ලොකු ටෙඩියා පොඩ්ඩක්වත් බෙඩ් එක කිලිටි කරන්නේ නෑ. හොඳ වෙලාවට එරික් බෝයි මට ඒ වගේ සොලියුසන් එකක් හොයලා දුන්නේ. ;)

        දැන් මෙහෙම කීවම හැමෝම කියයිනේ මූ කම්මැළියා කියලා. ඔය බුරු බබාට කොස්සෙන් අතුගාන්නම බෑ. මට ඒක හරිම අපහසු වැඩක්. කොච්චර අතුගෑවත් ආපහු දූවිලි හැමතැනම. පහුසිය කාලේ vacuum cleaner එක කැඩුනම අලුත් එකක් ගේනකම් මම ගේ සුද්ද කලෙත් නෑලු ඔන්න.  :) එහෙම තමයි බැරි වැඩ බලෙන් කරන්නේ මොකටද නේද?

          එහෙම කීවට බුරු බබා කම්මැලි නෑ. සුමානෙකට සැරයක් මම ගේ අස් කරනවා. එදාට බාත් රූම් එක හෝදලා කුස්සිය හෝදලා ගේම බිම වැකුම් කරලා මොප් කරනවා. දූවිලිත් පිහනවා. වීදුරුත් ක්ලීන් කරනවා. (ඒ වුනාට මෙහේ හැමදාම වහින හින්දා වීදුරු නම් මාසෙකට දෙකකට සැරයක් විතරයි.;) කාටද පුළුවන් ඕවා කර කර ඉන්න. වෙන එකක් තියා ගිය අවුරුද්දෙද කොහෙද මාස ගාණකට කලින් මාරු කරපු ජනෙල් වලට ක‍ර්ට්න් දැම්මෙත් නෑ. ඒවා ගෙදර අල්මාරියේ. ඔය අපේ පත්තර මල්ලි මේ ළඟදි මට කෝල් කරලා "අක්කේ උඹගේ ගෙදර වැඩ තියේ නම් කියපන්" කියලා ඇවිත් බලෙන් හදලා දෙන ඒවා මිසක් බුරු බබා නෑ නේ ඕවට මහන්සි වෙන්නේ. මේ ඊයේ පෙරේදා එයා එහෙම එයාගේ යාළුවෙකුත් අරන් ඇවිත් හත්වන තට්ටුවේ ඉඳන් ඇන්ටෙනාවකුත් ගහලා දුන්නා.

      දැන් ඉතින් ඔයාලා හිතන්න එපා බුරු බබා හරි අපිරිසිදු එකා කියලා. ඇත්තෙන්ම මගේ ගෙදර කිළිටිවීමේ ඉඩ බොහොම අඩුයි. මම ගෙදර ඉන්නෙත් අඩුවෙන්. හිටියත් ලොකුවට යුසේජ් එකක් නෑ නේ කිසිම දේක. අනික ඔය ලිප වගේ දේවල් උයලා කෑම කාපු ගමන්ම පිඟන් කෝප්ප එක්කම හෝදලා දාන පුරුද්දක් මට තියෙනවා. රෑට නම් ටී වී බලන ගමන් කන හින්දා හිටි ගමන් පිඟන් හෝදන්නෙත් පහුවදාට. ගොඩාක් වෙලාවට එක පිඟානයි. පෑන් එකයි නේ. ඕවා මොකටද හැමවෙලේම හෝදන්නේ කියලා සිංගල් අපි වගේ ඈයෝ නිතර කියන දෙයක්. :)

   වටේ පිටේ ගියාට මේ කියන්න යන්නේ මගේ පුංචි ගෙදර බිලින් ගැනනේ.

 ඊයේ උදේ ගෙදර බෙල් එක ගැහුවම ගිහින් බලනකොට රෙජිස්ටර් මේල් එකක්. ඒක අත්සන් කරලා අරගෙන මම සුපුරුදු වැඩ කරගෙන හිටියා. ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. හවස වැඩ ඇරිලා එන ගමන් ගෙදරින් එලියේ condominium entrance එකේ තියෙන මේල් බොක්ස් එකේ ලියුම් ටික අරන් ආවට ඒවා සාමාන්‍ය බිල් කියලා දන්න හින්දා කියවන්න ගියෙ නෑ.






   


     අද උදේ පහට විතර නැගිටලා මේල්ස් බල බල ඉන්න ගමන් තේ එක හදාගන්න ගියාම, කුස්සියේ මේස උඩ දාපු මේල් ටිකත් අරන් ආවා ඇඳට, බලන්න කියලා හිතාගෙන. 

       සාමාන්‍යෙන් මගේ බිල් කන්ට්‍රැක් බේසිස් හින්දා එකම ගණන් එන්නේ.  මොබයිල් තුනකත්, ලෑන්ඩ් ෆෝන් එකෙත්, බිල බැලුවම මගේ යුසේජ් එක ගැන හැමෝම පුදුම වෙනවා. නම්බර්ස් තියාගන්න ඕන හින්දා ෆෝන් යූස් කරනවා මිසක් මම කාටවත් කෝල් කරන්නේ නෑ. අපේ ගෙදරට හා ලංකාවේ කෝල්ස් වලට යූස් කරන ෆෝන් එක ඇරෙන්න වෙන කිසිම ෆෝන් එකකින් මම කෝල් ගන්නෙ නෑ. ඒ වුනාට ඒ හැමකක්ම unlimited basis. මට උදේ ඉඳන් රෑ වෙනකම් එන ක්ලයන් කෝල්ස් වලට උත්තර දුන්නට පස්සේ ආයේ යාළුවෙක්ටවත් කෝල් කරන්න ෆෝන් එක දකින එකත් වදයක්. ඒක හින්දා මගෙ යාළුවෝ බලෙන් මට කෝල් කරලා මගේ විස්තර අහනවා මිසක් මම දැන් කාලෙක ඉඳන් කාටවත් කතා කරන්නේ නෑ. මගේ තත්වය තේරුම් ගන්න මගේ යාළුවොන්ට ඒක අවුලකුත් නෑ. හිටිගමන් යාළුවෙක් කෝල් කලාම අනිත් පැත්තට කෝල් එක කට් කරලා වගේ ගන්න මම පුරුදු වෙලා ඉන්නේ. අර පුශ් අප් එක නැත්නම් මම උන්ට කතා කරන්නේම නෑ.
 
      ඒ මොනවා වුනත් මම ගෙවන ගාන එකම එකයි හැමදාම.  ඒත් පහුගිය කාලේ මට එක එක ගණන් වල බිල් ඇවිත් තිබුනා. බැංකුවෙන් ගෙවන්න දාලා තියෙන හින්දා කොටින්ම මා ගෙවන ගානවත් දැනන් හිටියේ නෑ. ඒක මම වගේ බොහෝ අයගේ මිස්ටේක් එකක්. අපිට ලේසිය මිසක් අරපරෙස්සම කියලා දෙයක් ඔළුවෙ නෑ. ඒත් අහම්බෙන් බිලක් චෙක් කලාම ඕක මාට්ටු වුනා. ඒ ගමන් බැංකුවෙන් ගෙවෙන බොහෝ බිල් මම අයින් කලා. කොටින්ම ගෙදර ටෙලිෆෝන් ලයින් එක ඩිස්කනෙක්ට් කලා. ඒ වෙනුවට අලුතෙන් වෙන ලයින් එකක් ගත්තා. ලයිට් බිල් එකත් ඔහොමමයි ඉස්සර මාස දෙකකට සැරයක් තිස් ගාණක් ගෙව ගෙවා හිටපු මම අන්තිම කාලේ එක පාරට හැත්තෑ ගාණක් වගේ ගෙවල. ආණ්ඩුවෙන් බිල් ටැක්ස් වැඩි කල හින්දා බිල් වැඩි වුනා කිය කියා මාත් හිත හදාගෙන හිටියා.

    ඒත් ඔය අපේ ක්ලබ් එකේ යාළුවෝ එක්ක බිල් ගැන කතා කර කර ඉන්නකොට මගේ යාළුවෝ පුදුම වුනා එහෙම වෙන්න බෑ කියලා. ඒ තරම් ලොකු ගානක්. මගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා වගයක්. ඉතින් මගේ යාළුවන්ගේ මතය වුනේ ඒ ළමයි (ලස්සන කොල්ලො තුන් දෙනෙක්) මගෙ පවර් යූස් කරනවා කියලා. 





   
      ඔන්න ගිය මාසේ මම කෝල් කලා මට පවර් සර්විස් දෙන කොම්පැනියට. එතකොට මම එයාලට ඒකක  600 700 ක් වගේ ඒකක ගණනක් වැඩි පුර ගෙවලා. ඊට පස්සෙ ඉතින් මම ඇහුවා මට ඔය අලුත් බිල් එවන්නේ නැතිව ඉස්සරහට එන බිල් වලට ඒවා ක්‍රෙඩිට් කරන්න කියලා. ඒ ගමන් මෙන්න කියනවා නෑ නෑ එහෙම කරන්න බෑ ඒ සල්ලි චෙක් එකකින් මට එවනවා කියලා.
  
     ඔන්න එතකොටයි කේස් එක මට මතක් වුනේ. මම මේ ගෙදරට එනකොට මම කලින් හිටිය ගෙදර බිල් වගයක අවුලක් හින්දා මට කන්ටැක් එක දෙන්න බැරිකමක් කීවා . එවෙලේ හදිස්සියට ගෙයි වැඩ ඉවර කරගන්න මගේ in  law ගේ නමට කන්ට්‍රැක් එක සයින් කලා. පස්සේ මාරු කරගන්න. ඒත් අහම්බෙන් 2012 දි අම්මාගෙ හස්බන්ඩ් මියගියා. මටත් ඔය බිල් කේස් එක වැඩිය මතකේ තිබ්බෙ නෑ එයාගේ නමටම ගෙවාගෙන ගියා මිසක්.

      ඔන්න දැන් මේ චෙක් එකක් ඉසූ කලොත් මට ඒක මාරු කරගන්න බෑ. මගේ නමට නෙමෙයි එන්නේ. මැරිච්ච කෙනෙක්ගේ චෙක් එකක් මගේ එකවුන්ට් එකට දාලා මාරු කරන්න පුළුවන් වුනත් මම හිරේ යනවා වංචාවක් කියලා. ඉතින් මම අර කතාකරපු වෙලේ ඉස්සරහ බිල් වලින් deduct කරන්න කීවම එහෙම බෑ කියලා මට දැන් පොර ටෝක්. හරිනම් මම තව 87,50€ ගෙවල මගේ නමට කන්ට්‍රැක් එක මාරු කරගන්න ඕනේ. අර කලින් වැඩිපුර ගෙවපුවාවත් ඒකට අයිතිවෙන්නේ නෑ  ලොකු ටෝක්ස්.  ඕනේ මඟුලක් කරගනින් කියලා මම ෆෝන් එක තියලා ක්ලබ් එකේ උන්ට ඕක කීවම උන් කිව්වෙත් ගෙවන්න එපා. ඩිස්කනෙක්ට් කරන්න යනකොට වෙන සර්විස් කම්පැණියකට මාරු වෙන්න කියලා.

 අනික අපේ හැමෝම මට බනින්නෙත් මම බිංදුවට තිතට හැමවෙලේම 'GERMAN' වෙන හින්දා. මම හැමවෙලේම හිතන්නේ පුළුවන් තරම් නිවැරදි වෙන්න ඕනේ කියලා ඔය ගෙවීම් පැත්තෙන්. ඒක මගේ අඩුවක්.

( ඒ ගමන් මම බැංකුවෙන් ගෙවන ඒවා ඔක්කොම කැන්සල් කලා. මගේ මොබයිල්ස් ඇරෙන්න. )

    කොහොම හරි ඔය වංචාව හැමෝටම වගේ වෙලා තියෙන හින්දා මීඩියා වල හෙම නිතර කියවුනා.

       අද උදේ තව පොඩ්ඩෙන් මට එහා ලෝකෙට ස්විෆ් ලැබෙනවා.  

               692.58 € ක බිලක්... ලංකාවේ සල්ලි වලින් නම් ලක්සයකටත් එහා.

   බුදු අම්මෝ... මම උඩ ගියා. ආපහු මගේ යුසේජ් එකයි එවලා තියෙන බිල් එකයි බැලුවම මගේ ඉවසීම කොහෙද මන්දා ඉතිරි වුනේ.

    ඔන්න මම ආයෙත් කෝල් කලා service assistant. මෙන්න එයාලා මට කියනවා ඉසූ කරපු බිල් එකක් කැන්සල් කරන්න බෑලු. ඒක මට ගෙවන්නලු. මම තේරුම් කලා කලින් මගේ usage average එකයි කලින් මම වැඩිපුර ගෙවලා තියෙන ඒවයි. මුන් දැන් හරියට බබාලා වගේ. ආ අපි දන්නේ නෑ නේ වගේ. බැන්නා බැන්නා.  මම නඩු දානවා කියලා ෆෝන් එක තිබ්බා. වෙන මොනවා කරනන්ද?

   දැන් මම බලන් ඉන්නේ මට රෙඩ් බිල්ස් එනකම්.
   
     කිසි දෙයක් ගෙවන්නෙ නෑ. මුන් හිතන්නේ අපිට කැහිල්ලට විසි කරන්න සල්ලි තියෙනවා කියලා. මේ වගේ කී දාහකට මුන් වංචා කරනවා ඇද්ද? ව‍යසක මනුස්සයෙක් එහෙම වුනා නම්... අනික මේ වගේ ගානක් අපි කාටවත් ගෙවන්න හිතාගන්නවත් බෑ. මගේ මාසික ගෙවල් කුලියට පොඩ්ඩයි අඩු. වර්ග මීටර් හතලිස් පහට මෙහෙම නම් ලොකු ගෙවල් වලට මුන් කොහොම බිල් එවනවා ඇද්ද?





 
 ඊයෙත් මම අපේ මල්ලිගෙන් බැනුම් අහලා හිටියේ disconnect කරපු ෆෝන් එකක අනවශ්‍ය බිලක් ගෙව්වා කියලා. අපි ඔය ඕනම සර්විස් එකක් ලබාගනිද්දි deposit එකක් තියෙනවානේ. ඉතින් ඒක අර වගෙ කේස් වලදි කපාගන්නවා මිසක් අපිට ආපහු බිල් කරන්නේ නෑ. ඒත් ඊයේ උදේ 129€ disconnecting charge එක ගෙවලා දැම්මා. කලින් බිල් එක වෙනම 80€ක්. නැත්නම් මම අලුතින් ගන්න යන ෆෝන් එකට ඕක ඉසූ එකක් වෙන හින්දා. කේස් එකක් ෆයිල් කලාම ඕවා දවසෙන් විසදෙන්නෙ නෑනේ කියලා. අපේ මල්ලි එවෙලේත් හිනා වුනා මට ඔයාට පිස්සු කියලා.

         අපිටත් මේවා හොඳ පාඩම්. කොටින්ම මම ශතපහක් හරි ගානට ගෙවන කෙනෙක්. කවදාවත් චරු චුරු ගාන්නේ නෑ. කොටින්ම ඔය ලංකාවට ගියාම හෙම අපේ මල්ලි මට බනින්නේම ඕකයි. ඒක නොසැලකීමම නෙමෙයි. එහෙම අනෙකා අපිට කරයි කියලා අපි නොහිතීම. කොච්චර පාඩම් ඉගෙන ගත්තත් අපි හිතන්නේ එහෙමනේ. ඔය ලොකු ලොකු කෑම කඩ වල ඕක අනන්තවත් අපිට වෙලා තියෙනවා.

     
   ඒත් මෙච්චර කාලෙකට එහෙමට මට මෙහේදි ඕක වුනේ නෑ. සුපර්මාකට් වගේ වුනාම ආපහු ගිහින් මේ බඩුව තිබ්බෙ නෑ කීවම කෙලින්ම මට බිලෙන් අඩු කරලා දෙනවා. කොටින්ම හැමදාම යන එන තැන් වෙන ඒ තැන් වල මම බොරුවක් කිව්වත් දෙන තරම්. ඒක කාලයක් එක්ක අපි ඇති කරගත්ත විශ්වාසය වෙන්න ඕනේ.

      ඒත් ගිය සතියේ එළවළු ගන්න පොලේ ගිහින් ගෙදර ඇවිත් බලනකොට මම සල්ලි ගෙවපු බඩු වලින් භාගයක්වත් ගෙදර ගෙනාව බෑග් වල තිබ්බේ නෑ. එක ලොකු ගාණක පාඩුවක් නෙමෙයි. 6- 7€ක් වගේ. අනික එතන මගේ වැරැද්ද මට බලලා ගන්න තිබුනනේ මෝඩයා වගේ උස්සගෙන එන්නේ නැතිව.  




  අද දවසම ඉවරයි. ශිහ්.... මටමයි වෙන්නේ.  මේ වගේ ඒවට තරහා ගියාම දවසම කාලකන්නි වෙන්නෙ මගෙනේ.

         එක අතකට බලාගෙන ගියාම දැන් ලොකේ පුරාම හැමෝම හොරු. අර පොඩි මිනිස්සු හොරකම් කරන ඒවට අපි සමාව දුන්නත් මොකද මේවගේ ලොකු කොම්පැණි මෙහෙම කරද්දි?   
   

 




 
   

2 comments:

"පොල් සම්බෝලයක් වත් නැති දුප්පත් බුරු බබෙක්"





 

     
          මේ ඊයෙ පෙරේදා අපේ රාජ් මහත්තයා ලියලා තිබුනා නෙව තල ගැන නොස්ටැල්ජික් කතාවක්....
 ඒක කියවලා හරිම හිතේ අමාරුවෙන් හිටියේ.

         මොකද ඔය අපේ බුරුබබාට තියෙනවා ලෙඩක්. මොකක් හරි ඉස්සර කාලේ කෑමක් ගැන කියපු ගමන් පස්ස බිම හපා ගෙන ඔය ඒ කාලේ කෑම බීමේ නොස්ටැල්ජියාව එක්ක සක්මන් කරන එක. ඔය ගහක් ගලක්, මඩ වලක්, මුහුදක්, කැලයක් ගැන කීවමත් එහෙමයි කියලා බුරු බබාගේ යාළුවන්ගෙන් නිතර කියවෙනවත් එක්ක. ඒ තරමට බුරු බබා සංවේදියි ඔය වගේ දේවලට.


       නැතිව ඔය චීස්, හැම්, බේකන්, ෆ්‍රයිඩ් රයිස් හා එකී නොකී අද කාලේ සුපිරි කෑම ගැන එයාට නෑ නේ වගේ වගක්. :)

      (වයින් ගැන නම් පොඩ්ඩක් විතර චොර වෙනවා. ඒත් වයින් කීවට ඔය බර සාර වයින් මිසක් වෙන වෙන ඒවා ගැන ගාණක්වත් නෑ.) (-:

      බුරු බබා ඉපදුනේ ඩොටේ කියන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඉතින් බුරු බබාගේ ළමාකාලේ මතක ඔක්කොම තියෙන්නේ ඩොටේ ඔරිමජිනල් ඒවා. ඒවා අද කාලේ ඉන්න බොහෝ අයට ලබාගන්න බෑ. ගමක ජීවත්වෙන අයට වුනත් ඒවා වචන හෝ කතන්දර විතරයි. ඒ වුනාට ඔය බුරු බබා ඉන්න රටේ ඒවා සාමාන්‍ය ජීවිතයේදි අදටත් විඳින්න පුළුවන් දේවල්. ඒකම දේ බුරු බබාගේ අතීත කාලේ බුරු බබා වටේ හිටපු මිනිස්සු එක්ක ඒක ලබාගන්න බැරි එක විතරයි. ඒක හින්දම බුරු බබා, නිවාඩු කාලේට බුරු බබාගේ යාළුවන්ව, පොඩි මෑන්ලා හෙම අරන් යනවා ඔය අතීතකාල සෞන්දර්ය චාරිකා වලට.

   ඒ ගියහම ඉතින්, එකී නොකී ඩොටේ වලින් ආව, දැන් කොළඹ පොශ් නෝනලා මහත්තැන්ලා වෙච්ච එවුන් "උඹත් දන්න දේවල්" කිය කියා බුරු බබාට කණ පැලෙන්න බැන බැන සෞන්දර්ය චාරිකා කරන බවත් කියන්නම ඕනේ. හොඳ වෙලාවට බුරු බබාගේ අම්මයි අප්පච්චියි කලින්ම මියදුනේ. නැත්නම් පව් ඒ අහිංසක මිනිස්සු දෙන්නා බැනුම් අහනවානෙ තාමත්.



     -----------------------------------------------------------------------------------------------------------------






      


      ඊයේ බුරු බබා දන්න කියන ළමෙක් ආවා පොල් සම්බෝල අරගෙන.


      ( පොල් සම්බෝල එක්ක බත් එකකුයි තෝසෙ හදන මිශ්‍රණයකුයි තිබුනා.) තෝසෙ පැකට් එක දැක්ක ගමන්ම බුරු බබාට හිතුනේ මේක මට මොනවා කරන්නද කියලා. කනන් දන්නවා වුනාට ඔය වගෙ කෑම බුරු බබා කවදාවත් හදලා තියා හදන්න හිතලවත් නෑ. අම්මා මෙහේ ඉන්න කාලේ නම් අම්මා තෝසෙ හදලා දෙනවා. එයා හදන්න දැනගෙන හිටපු කෑම වලින් එකක් ඔය තෝසෙ. නිතරම වගේ අපිට ඔය මොකක් හරි කෑමක් හදලා දෙන එකත් එයාගේ පුරුද්දක්. ඒවයින් හැදිච්ච බඩේ අමාරු කෙසේ වෙතත් අපි හැමෝම යහතින් ජීවත් වෙනවා මිසක් බුරු බබා නම් කවදවාත් හීනෙන්වත් ඕවා හදන්න ඕනේ කියලාවත් හිතලා නෑ.


   ඊයේ දවල්ටත් පොල් සම්බෝල කාලා රෑටත් පොල් සම්බෝල කාලා අද උදේ මල්ලි එක්ක ඒක කියනකොට මතක් වුනා පාන් එක්ක පොල් සම්බෝල කන්න තිබුනා නම් කියලා. ඒ වෙනකොට මම නාලාවත් හිටියේ නෑ. ඩුහ් ගාලා නෑවා. කොන්ඩේ වේල ගත්තා. ඇඳුමක් දාගත්තා. බුරු බබා සුපර් මාකට් එකේ.  කෙලින්ම පාන් කවුන්ටරේ. ලුණු නැති පානුයි, කෙසෙල් ගෙඩි හතරක් පහකුත් ගත්තා රූං ගාලා ගෙදර. පාන් කපන්නත් කලින් තේ එකක් හදාගන්න වතුර එකක් දැම්මා.  කෙලින්ම මේ මේසේ උඩ.


    ඔන්න මගේ අතීත කල්පනා වල උග්‍රම මොහොත.... ඒක නිකම්ම නිකම් නොස්ටැල්ජික් නෙමෙයි. ඊට බොහොම එහා....
   

         පොඩි කාලේ අපේ ගෙදර ගොඩාක් වෙලාවට කැකුළු බත් උදේට කන්නේ. කොහෙද අපේ අම්මා හිතන් හිටියේ එයාගේ ළමයි මල් වගේ හදන්න ඕනේ කියලානේ. ඉතින් අපිට පාන් පිටි කෑම කන්න හම්බ වුනේම නෑ. (දැන් ඔය අහුවෙන හැම ජරාවක්ම කාලා අලබෝල වගේ හිටියාට ඒ කාලේ එහෙම නෑ.) ඔය ඇට වර්ග, කිරි බත් හා එකී නොකී දේවල් හදලා දෙනවා ඉස්සර කාලේ.  එතකොට අද වගේ ඔය ටේක් එවේ ෆූඩ් ස්ටෝල්ස් හෙමත් නෑ වෙන්න ඕනේ. තිබුනත් අපිට නම් ඒවා කෑම සපුරා තහනම්. හොරෙන්වත් කන්න බෑ කාපු ගමන් මොකක් හරි ලෙඩක් හදාගන්න හින්දා බයටම කන්නෙත් නෑ. ඒකට විකල්පයකුත් අම්මා දීලා තිබ්බ අපිට. හැමදාම මොනවා හරි වෙනස් කෑමක් අපිට හදලා දෙනවා. බත් වලට අමතරව. එහෙම තමයි මම හාල් පිටි වලින් හදපු වෙල්ල වැහුම් පෑන් කේක් කෑවේ. ඒවා හොත්තිරි පැංචං කියලායි අපි නම් කීවේ. ඒ කාලේ ඉස්කෝලේ පොතේ එහෙම හොත්තිරි පැංචං කියලා කතාවකුත් තිබුනා. ඊගාවට කිරිබත්. ආයේ එක එක කොළකැඳ වර්ග. (දැන් අපි ඒවා පොරීජ් කියලා මහලොකු මිනිස්සු වෙලා බොන එක වෙනම කාරණයක් නෙව.) ආයේ හුණුසහල් බත්, පැණි පුරවපු කිරිබත්, වගේ එක එක කිරිබත්. කොහොමහරි අර කඩේ කෑම වලටත් වඩා වෙනසක් අපිට අම්මා දීලා තිබ්බා.  ආයේ හවසට තේ බොන්න වගේ ගොඩාක් වෙලාවට හැලප, වැලි තලප, හොත්තිරි පැංචං වගේ එක එක දේවල්. බත් කන්න වුනත් අපිට වෙනම සැර නැති කෑම. අපේ ගෙදර ගොඩක්ම කෑවේ එළවළු වර්ග.


              එකක් ඒ කාලේ ඔය මස් කඩ කල්චර් එකක්වත්, මාළු කෑම ඈත දුස්කර ගම් වෙච්ච අපේ ගම්වල තිබුනේ නෑ. (අනික අපිට මස් නිතර ලැබුනත් ඒවා අහිංසක සත්තු මරලා කියලා වගේ හැඟීමක් තිබ්බ හින්දා ඒවා කෑවෙත් අයියයි අප්පච්චියි විතරක් වෙන්න ඕනේ.) අපේ අම්මා වෙජිටේරියන්. ඒක හින්දා මාත් ඒ කාලේ වෙජිටේරියන්. නැතිව මම ඒ කාලේ මොන හේතුවක් හින්දා මස් මාළු නොකෑවද කියලා මම දන්නේ නෑ. ඒ වුනාට අම්මා අපිට ගම්බිත්තර නම් ගෙනත් දුන්නා සුමානෙකට දවස් දෙකක් වගේ.

    ඒ වුනාට මම එතකොටත් මම වෙජිටේරියන්... පොශ්....  හරි?


  දැන් මට කතාව අමතක වෙනවානේ.
එහෙම හිටපු අපිට පාන් කන්න නම් ලෙඩ වෙන්නම වෙනවා. ඔන්න උණ හැදුනම, බඩේ කැක්කුමක් වගේ ලෙඩක් හැදුනම අපිට කෑම කන්න බෑනේ. අපේ අම්මා ඒ කාලේ හිතන් හිටියේ අපිට කෑම වේලක් නැති වුනොත් අපි මැරෙනවා කියලද කොහෙද. එතකොට අපිට පුළුවන් අපි කැමති කෑමක් ඉල්ලන්න.

        බොරු කියන්නේ මොකටද මම ඒක හින්දම අනන්තවත් ඒ කාලේ ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන්නෙත් චොර විදියට. ඔන්න එක වේලක් කන්නේ නෑ බොරුවට ලෙඩක් පෙන්නලා. ඊට පස්සේ කෑවේ නැති හින්දා පහුවෙනකොට මට ඇත්තටම ලෙඩ වෙනවා. ඔන්න එතකොට අම්මා පැය විසිහතරේම මගෙ පස්සේ මම කියන කියන එක කර කර ඉන්න ඕනේ. (රස්සාවක් හා වැඩ දාහක් කරපු අපේ අම්මට ඒක හරිම අමාරුයි.) ඒ වුනාට ඒවා වැඩක් තියෙයිද නෝටි බුරු බබාට. එතකොට හයියෙන් අඬනවා. අන්තිමට අඬලා චොර වෙලා පාන් කියාගන්නත් බැරිව ඉන්නවා.  අපේ ලොකු අක්කා තමයි ඒ කාලේ මට පැම්පර් අන්දවන්නේ.(මේ පැම්පර් කිව්වේ අර ඇත්ත බේබි පැම්පර් නෙමෙයි. අපේ කාලේ එහෙම එව්වා තිබුනේ නෑ නේ.) දැන් නම් හරි දුකයි. එයාගේ වැඩේ ඉතින් මාවත් උස්සගෙන මාව හුරතල් කරන එක. එක අතකින් බැලුවම මම අම්මගෙනුත් වඩා හුරතල් වෙලා තියෙන්නේ අක්කගෙන් තමයි. ඒ විතරක්යැ ඔය අපි පොඩි කාලේ කොහෙත් අද වගේ ටොයිලට්ස්. ටොයිලට් යන්නත් මම අක්කට එනවුන්ස් කරලා කියලා තමයි යන්නේ. මම ඉවර වෙන වෙලාවට එයා ඉන්න ඕනේ මාව හෝදන්න. නැත්නම් එහා ගමටත් ඇහෙන්න තරම් හූ කියලා අඬනවා.

 කොහෙද මේක ට්‍රැක් එකකට ගන්නම බෑනේ.




            ඉතින් අපි පොඩි කාලේ ගොඩාක් වෙලාවට කෑවේ අලුත් කුඹුරු හාල්. ඒවයේ කිරිබත් වගේම නිකම්ම නිකම් බත් වුනත් හරි රහයි. අපේ වත්තේ පොල්ත් තිබුනානේ. සමහර වෙලාවට උදේට කන්න අපිට පොල් සම්බෝල හදනවා. එක එක වර්ගයේ පොල් සම්බෝල. ඒවා අඹරන්නම අපේ ගෙදර ගලක් තිබුනා. කොටන්නත් පුළුවන් වෙන්නැති. තක්කාලි හෙම දාලා අමු දෙහි දාලා, තෙල් දාලා එක එක රස වලට පොල් සම්බෝල. ඒක අද කාලෙට වඩා වෙනසක් තිබුනා. ඒවයේ මිරිස් සැරක් තිබුනේ නෑ.

    ( අද කාලේ නම් පොල් සම්බෝල ලංකාවෙදි කනවා කියන්නේ ඊට වඩා හොඳයි දිවි නහගන්න එක.)
    
 අනික ඕනේ වෙලාවක අඬලා හරි ඉල්ලගන්න පුළුවන් ලේසි කෑමක් ඒක.

        ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි අපි ඒකාලේ අඬලා තියෙන්නේ පොල් සම්බෝලයක් වගේ දේවලට. දැන් ඉන්න අපේ ළමයින්ට වඩා අපි කොච්චර හොඳද?

( මම නරක ළමෙක් කියලා හිතන් ඉන්න අයට හොඳට කියලා දෙන්න ඕනේ ඕක. )

 ඔය හිටිගමන් එක එක ගෙවල් වලින් ගොඩාක් වෙලාවට කිරි අම්මලාගේ ගෙදරින් හෙම පාන් කාලා එන මට හොඳ ගේමක් අල්ලන්න හම්බවෙන්නෙ අර උණ හැදුනම. එතකොට මට ලේසියි පොල් සම්බෝලයි පානුයි ඉල්ලන්න. ඒවා නිකම් පාන් නෙමෙයි කරවෙච්ච රෝස් පාන්....

       අම්මෝ ඒවයේ රහ....

       දිව්‍යලෝකේවත් එහෙම රහ කෑම නැතිව ඇති.....



         ඊයේ පත්තරේ ගේ පොල් සම්බෝල එක්ක මේ ඔක්කොම කතා රෑ නින්දෙනුත්, එලිවෙනකනුත් තවමත් ඔළුවේ අස්සේ බර ටෝක් දෙනවා....  ඒවා කිලෝ මීටර් දාස් ගණන් දුර ගිහින් අනාථ වෙලා ඔහේ වැලපෙන සිතිවිළි.  ඒවට කඳුළු එන්නෙත් නෑ දැන්. මොකද ඒවා ඒ තරම්ම අපේ ජීවිත වලට සම්බන්ද වෙලා. මහා හිස්කමක් විතරයි දැනෙන්නේ.... ඒක හිස්කමක්මත් නෙමෙයිනේ..... එක වෙලාවකට උඩ පැනල හිනා වෙන්න තරම් ලොකු දේවල්..... ආයේ තව ටිකකින් ඔහේ හිස් කමක් විතරක් වගේ අඩුවක් දැනෙන. නොස්ටැල්ජික් කතා.... ඒත් ඒ නොස්ටැල්ජික් කතා අද අපේ ජීවිත වලට පාර කියනවා. ඒවයේ අස්සේ තියෙන ආදරය කියා දෙනවා.

 ඒත් කොහොමද ඒක කටක් ඇරලා කියන්නේ "පොල් සම්බෝලයක් වත් නැති දුප්පත් බුරු බබෙක්" මම කියලා....


 

15 comments:

සත්සියක් මිනිසුන් වෙනුවෙන් සත්සියක් කඳුළු.....


     අද නම් හිත කඩා වැටිලා.





        උදේ  මම නැගිට්ටේ අටට විතර.

     ඊයේ රෑ ක්ලබ් එකේ මැච් එක බලලා ගෙදර ආවෙත් පරක්කු වෙලා. ඒ මදිවට ඔය මහ රෑ වෙනකම් ඉඳලා ගෙදර ආවම හිටි ගමන් talk show  බලන්න සෙට් වෙනවා. සමහරවිට කතා කරන subject එක interesting  නම් පාන්දර වෙනකම් වුනත් ඕවා බලන්න සෙට් වෙනවා මම. ඒ වෙලාවේ clandestine ගැන debate එකක් ගිය හින්දා පොඩ්ඩක් වුවමනාවෙන් බැලුවා. ඒක ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ලිබියන් මුහුද මැද ගිලෙන මිනිසුන් ජාවාරම් කරන මාළු බෝට්ටුවක් ගැනත් කියවුනා.

      අටට නැගිටලා පුරුද්දට news update දාලා ඇඳේම නින්දයි නොනින්දයි අතර ඉන්නකොට මෙන්න පටන් ගන්නවා හත්සියයක් මිනිසුන් මුහුදේ ගිලෙමින් මැරිලා කියලා.


news video

      ඒ වගේ දෙයක් අද වගේ දවසක වෙනවා කියන්නේ හරි පුදුමයක්. හත්සියයක් කියන්නේ ලොකු ගනණක්. ඒ වගේ මිනිසුන් සංඛ්‍යාවක් එක පාර මියදෙනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි.

           ඒ මිනිස්සු බොහොමයක් වගේ එන්නේ අප්‍රිකා රට වලින් යුද්දයෙන් පැනලා යන්න. ඒ වගේම ලංකාව, පකිස්තානය, බංග්ලාදෙශ් වගේ රටවල අය වාසනාව හොයාගෙන.  එහෙන් ISIS (ලේසියට ඊසීස්) ලා ලෝකෙ පුරා මිනිස් සංහාර කරනවා. ඒ අස්සේ මේ වගේ ජාවරම් කරුවෝ අහිංසක මිනිස්සු අල්ලගෙන මිනිස් ජාවාරම් කරනවා. මට තේරෙන්නේ නෑ තවදුරටත් අපි ජීවත් වෙන්නේ කොහේද කියලා.

          මම දන්න එකම දේ මේ මැරෙන්නේ අපි වගේම මිනිස්සු. හීනලන්ත මවාගෙන, එහෙම නැත්නම් කාගෙහරි බොරු අහගෙන හිතෙන් හීනලන්තයක් මවාගෙන තියෙන ඉඩකඩම් ඔක්කොම විකුණලා එහෙම නැත්නම් ඇඳිවත විතරක් අරන් බෝට්ටුවකට නඟින මිනිස්සු. හරියට swift  එකක් වගේ... හරි ගියොත් හරි. වැරදුනොත් එහෙමයි කියලා තම්න්ගේ මුළු ජීවිතේම ඔට්ටුවට තියලායි මේ ගමන් එන්නේ. sacafistiලා කියන්නෙම මිනිස් ජාවරම් කාරයෝ. උන්ට මොන මනුස්සකම්ද? පොඩි ළමයි, බබාලා හම්බවෙන්න ඉන්න කාන්තාවෝ පවා මේ මිනිස්සු තමන්ගේ බිස්නස් එකට යොදාගන්නවා. යුද්දෙන් පැනලා යන මිනිසුන්ට තමන්ගෙ ළමයි ජීවත් කරවන්න හරි හීනයක් තියෙනවා. සැමන් ටින් පැක් කලා වගෙ තමයි.



      
          ඉස්සර මම ඔය කෑම්ප් වල වැඩට යනවා. ඒ කාලේ මට සුමානයක් දෙකක් යනකම් ශොක් එක. එකක් ඒ මිනිසුන්ගෙ කතන්දර අහද්දි දැනෙන කම්පාව. අනික ඌරන්ට මොන සෞඛ්‍යයද කිව්වා වගේ මේ මිනිස්සු කඳවුරු වල ඉන්න අපිරිසිදුකම හා සිවිලයිස් නොවුන මිනිස්සු වීම. සමහරවිට අර මිනිස් ජාවාරම්කාරයෝම අපිව බය කරගෙන තර්ජනය කරගෙන ඔවුන්ගේ වැඩ කරගන්නවා. හරියාකාර අත්‍යාවශ්‍ය පහසුකම් නැතිව, ළමයි, අම්මලා අඬද්දි ඒත් අපේම ළමයිනේ කියලා මිසක් වෙන දෙයක් හිතෙන්නෙත් නෑ. ඒත් ඒවගේ හිතලා ඒවයේ වැඩ කරන්න බෑ. රස්සාවක් වෙනුවෙන්, සල්ලි හොයන්න විතරක් ඒ වගේ තැන්වලට යන එක මම නතර කලා. මොකද ඒවයින් මම ලබපු කම්පණය තාමත් සමහරවිට දැනෙනව අවුරුදු ගාණක් ගිහිනුත්.

   
       මම දන්නේ නෑ කොහෙ හරිද කොහේ වැරදිද කියලා. ඒත් කතා දෙකක් නෑ ඉතාලි රජය මේ වෙනුවෙන් ලොකු දුකක් විඳිනවා. ඒක වෙන්න හේතුවත් වතිකාණුව තමයි. එහෙම නැත්නම් ඒ මිනිසුන්ව කිසිම කෙනෙක් බාරගන්න එකක් නෑ. ඒ අතින් අපි පාප් වහන්සේ හා කතෝලික පල්ලියට  ස්තුතිකරන්න ඕනේ. පල්ලියේ බලපෑමක් නොතිබුනා නම් අනිකුත් යුරෝපයේ රටවල් වගේ ඉතාලියත් අත කට වහගෙන ඉඳියි.


    මොකද ඔය අල්ලපු රටවල්වත්, යුරෝප් කොමියුනිටි එකවත් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ නෑ. ඔවුන්ගේ දේශ  සීමාවන් විතරක් ආරක්ශා කරගෙන ඉන්නවා. මේ එක්මනුස්සයෙක්ට දවසකට රජයෙන් දරන වියදම 40€ ක් හෝ සමාන ගාණක්. (ඒවයිනුත් අර අතරමැද බිස්නස් කාරයෝ ගාණක් ගහගන්නවා. අත්‍යාවශ්‍යය පහසුකම්වත් නැති කඳවුරු තමයි අන්තිමට බහුතරයක් තියෙන්නේ) ගිය  week end  එකට විතරක් ඔය මාළු බෝට්ටු වලින් ඉතාලියට ඇතුල් වෙච්ච මිනිසුන් ගණන් 5600ක් හෝ සමාන ගණනක්. ඉතින් හිතාගන්නකෝ කොහොමට මේ ප්‍රශ්නේ ඔඩු දුවලා ඇතිද කියලා. කොටින්ම සවුත්කෝස්ට් වල මේ වෙද්දි පාසැල් පවා කඳවුරු වෙලා.






     මේ අනවසර රැඳවියන්ට කෑම බීම ඇඳුම් පැළදුම් හා එදිනෙදා අවශ්‍යතාවෙනුවෙන් මුදලක් රජයෙන් දෙනවා. සමහර තුන්සීයක් හාරසීයක් ඉන්න පුළුවන් කඳවුරු වල අඩුම ඉන්නෙ අටසීයයි දාහයි. මේ රැඳවියන්ගෙන් හෝ මේ වර්ගයේ බහුතරයක් විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට වාසියක් නෑ. ඔවුන් රැකියාවක් කරත් ඒ මුදල් ඔක්කොම ඔවුන්ගෙ රට වලට අරන් යනවා. ඉතාලියේ ආර්ථිකය වැටෙන්න මූලිකම හේතුවකුත් ඒක. ඒකේ දෙපැත්තක් තියෙනවා. කොටින්ම ඔය බොහෝ විදෙස් ශ්‍රමිකයන් කරන රැකියා රට වැසියන් කරන්න අකමැති රැකියා. විරැකියාව ඔඩු දිව්වට  මිනිසුන්ගෙ අහංකාරකම අඩුවෙන්නෙත් නෑ නේ. දෙකට ගනින්න බෑ ඒ වුනාට ඕනේ පුටු රත්කරන නිකම් ඉඳන් වැටුප් ගන්න රැකියා. අන්තිමට වෙන්නේ අර බල්ලා පිදුරු කන්නෙත් නෑ කතාව තමයි. ඔය වැඩ කරන විදෙස් ශ්‍රමිකයාටත් ඊර්‍ර්ශයා කරනවා. ඊට පස්සේ ඒක ජාතිවාදයක් වෙනවා. ඒවයින් බිස්නස් කරන politician ලාත් ඉන්නවා.( හරියට අර ලංකාවේ වගේම) එකම දේ ඒකට රජයෙන් අණුමත කරපු දෙයක් නෙමෙයි) racist issue වලදි නඩු දාන්න පුළුවන්. ඒක හින්දා අර LEGA NORD වගේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න බහුතරයක් මිනිසුන් racist නෙමෙයි. ඒත් බහුතරයක් මිනිසුන්ට මේ ප්‍රශ්නය දැන් දරාගන්න බෑ. කොටින්ම මට වුනත්. අඟලින් අඟලට හිඟන්නෝ වෙච්ච විදේශිකයෝ. රැකියාවලට වඩා ඔවුන්ට ඕනේ ලේසි මුදල්. ඉතින් හොරකම් වගේ දේවල් බහුලයි. රටේ ආරක්ශාවටත් මේක ලොකු තර්ජනයක්. ඉතින් දොස් කියන්නත් බෑ.


      හත්සීයක් මිනිස්සු මුහුදේඅතරමං කරලා මැරිලා ගියාම හඬන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මිනිස්සු ලෝකේ පුරාම හඬනවා ඇති.  අද දවසෙම දකින්න අහන්න ලැබෙන්නේ මේ මිය ගිය මිනිසුන්ගේ කතා. දකින හමුවෙන හැමකෙනාම කතා කරන්නෙත් ඒක. ඒකට ඒ මැරුනේ කොහේ කවුරු කියන එකද කියන එක කාටවත් වැඩක් නෑ. ඒ මැරුනේ මිනිස්සු කියන එක විතරයි හැමෝම කතාවෙන්නේ. අද පෝප් ෆ්‍රැන්චෙස්කෝගේ කතාව නිකම් අඬන්න ලංවෙච්ච කෙනෙක් වගේ. හැමෝගෙම හඬවල් ඒ වගේ.....


                      from FB   

         මේ මිනිසුන්ගේ කතා දහස් ගාණක් මට ලියන්න පුළුවන්. එක අතකින් අර මගේ යාළුවෙක් කීවා වගේ ඔවුන් ජීවත් වීමේ ප්‍රශ්නයෙන් මිදිලා. අපිට ඒක දුකක් වුනත් ඔවුන් තවදුරටත් විඳවන්නේ නෑ. අර හීනලන්තය හොයාගෙන බහුතරයක් මිනිසුන්ගේ  ඉතිරිවෙන හීනලන්තයේ කතාව හරි දුශ්කරයි. කොටින්ම මටත් වෙලාවකට ඒ කතා අහන් ඉඳලා මගේ රස්සාව එපා වෙනවා. ඒත් ආයෙත්, මාත් එහෙම හිතුවොත් මගේ මනුස්සකම කොහෙද කියලා හිත ආපහු ශක්තිමත් කරගෙන මම වැඩ කරනවා. කොටින්ම අපි ගෙවන ජීවිත කොයිතරම් දුශ්කර වුනත් මේ වගේ මිනිසුන්ගේ ප්‍රශ්න එක්ක බලනකොට අපි ප්‍රශ්න කියන දේවල් අහලාවත් නෑ කියලා මටම හිතෙනවා කොච්චර චොර වෙලා ඇඬුවත් මම. :)


     ආයෙත් නම් මේ වගේ කතා අහන්න වෙන්න එපා....  ඒ විතරක් නෙමෙයි දන්න කියන කාටවත් මේ වගේ සෞභාග්‍යලන්තයට යන්න ඉඩ තියන්නත් එපා. නීත්‍යාණුකූල ක්‍රමයකට හැර වෙන ක්‍රම වලට විදේශයකට ගියාම උදව් කරන්න පුළුවන්කමක් අපි කාටවත් නෑ.

 මියගිය හැමෝම මගේ හිතේ ජීවත් වෙයි. ඔවුන් වෙනුවෙන් මගේ හිස්කම විතරයි මේ වචන වල ලිය වුනේ... 



 (ගූගල් පිංතූර අනුග්‍රහය.)

10 comments:

බ්ලොග් වසන්තේ.... බොහොම ස්තූතියි....


         වසන්තය ගැන මට මොකුත්ම කියන්න බැරි වුනා. අපේ දුමියා ඉන්දික ප්‍රමුඛ ටීම් එකේ වැඩේ හොඳම ප්‍රතිඵල ලැබුනා කියලා කියන්නත් උන්ට Hats Off කියන්නත් මේකම අවස්ථාවක් කර ගන්නවා. 

 ඇත්තටම බ්ලොග් කීවම, නිතර නොකීවට මගේ සිංහල දැනුම වර්ධනය කරගන්න මූලික වුන බේස් එකක් තමයි සිංහල බ්ලොග්. ඒ ගැන මුලින්ම සිංහලෙන් බ්ලොග් ලියපු හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනේ.2008 වගේ ඉඳන් මම සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තා. 2007 ඉඳන් මට  බ්ලොග් එකක් තිබ්බා. ඒත් මම සිංහලෙන් බ්ලොග් ලිව්වේ නෑ. එහෙම ලියන්න මට සිංහල ලියන්න පුළුවන් කමකුත් තිබ්බේ නෑ. 
  
    ඒත් මම කියවන්න ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් කියවන එක අඩු කරලත් නෑ. මම කැමතිම මිනිස්සු කීප දෙනෙක් මට බ්ලොග් වලින් මුණගැහිලා තියෙනවා. සමහර යාළුකම් බොහෝ දිග ඒවා. ඒවා වයින් එකකට, තේ එකකට, කෑම වේලකට වඩා එහේ මෙහේ ගිය පවුලක කතා වෙලා. පෞද්ගලික කතා කරලා නැති බොහෝ අය වුනත් ලියන දේවල් හරහා මම  අඳුනගෙන තියෙනවා. 


  නිතර බ්ලොග් නොලීවට, බ්ලොග් එක මගේ ජීවිතේ නොවුනට තවමත් ඉඳලා හිටල කොමන්ට් එකක් දාලා එන්න හෙම මම නම් බ්ලොග් අස්සේ ගැවසෙනවා. මට හිතුනම මම ලියනවා. කොහොමත් ලියන්නම ඕනේ කියලාවත්, අනිත් අය කියන හින්දා ලියන කෙනෙක්වත් නෙමෙයි මම. මම බොහොම නිදහස් මනුස්සයෙක්. ඒවගේමයි කියවීමත්. සමහර වෙලාවට කියවන්න උවමනාවුනත් කියවන්න නොහැකිවෙන බ්ලොග් නම් අනන්තයි. 

   ඉතින් මට අහම්බෙන් අහුවෙන බ්ලොග් එකක් දැකලා හොඳයි කියලා හිතුනොත් මම අඹගහයටට ඇඩ් කරලත් එනවා. (බ්ලොගර්ස් හමු අරවට මේවට මම කවදාවත් ගිහින් නෑ. යන්න අදහසකුත් නෑ. ඒත් බ්ලොග් අස්සෙන් හම්බ වුන සිංගල් මිනිස්සු නම් හමුවෙනවා.) ඒත් බ්ලොග් අවකාශයේ හොඳ වැඩක් වෙනවා නම් හොඳයි කියන්නත් මම මැළි වෙන්නෙත් නෑ. 

        ආපහු කතාවට ආවොත් අර දුමියලා දුකාලා වගේ මිනිසුන්ගේ සහෝදරකම මම දැක්කේ මීට අවුරුදු හතරකට කලින් දිළුම්ගේ වැඩේදි.  කවදාවත් දැකලා නැති වයර් අස්සේ දැක්ක මනුස්සෙක්වෙනුවෙන් එහෙම කැපවීමක් කරන්න ලොකු මනුස්සකමක් තියෙන්න ඕනේ. ඒක හොරුන් බිහිවෙන්න තෝතැන්නක් වුනාට එතනදි ලොකු මනුස්සකමක් බ්ලොග් අවකාසෙන් එලියට ආවා. ඒක අගය කළයුතුමයි. කොච්චර කාලයක් ගියත් ඒක මට නම් අමතක වෙන එකක් නෑ. 

      ඉතින් එහෙන් මෙහෙන් පරණ බ්ලොග් ලියපු මිනිස්සු කුහකයි කියනවා කියලා දකිද්දි මට නම් ටිකක් අවුල්. මම බ්ලොග් අවකාශේ අද වෙන දේවල් දන්නේ නෑ. මට දැනගන්න උවමනාවකුත් නෑ. ඒත් එහෙම ලොකුවට අපේ මාතලන් වගේ අය පරණ එවුන් එහෙමයි කියද්දි ලොකු කණගාටුවක් දැනෙනවා. මොකද මාත් පරණ බ්ලොග් ලියන කෙනෙක්. මම ආසයි මිනිස්සු ලියනවා දකින්න. ස්ලෑන් වගේ ඒව කියෙව්වේ නැති වුනාට, කොමන්ට් දැම්මේ නැතුවට අනිත් බ්ලොග් මට අහු උනොත් කියවලා එන කෙනෙක්. 

   වසන්තයේ ලියන්න ආපු පරණ බ්ලොග් ලියන අය ඉඳලා හිටලා හරි ආපහු ලියනවා දකිනවට මම නම් ආසයි. පරණ ලියපු බොහෝදෙනෙක් නතරවීමම මට නම් දුකක්. ඒත් බ්ලොග් ලියනවට අපිට ජීවත්වීමේ මාර්ගයක් ලැබෙන්නේ නෑ නේ. බිසි වීම අස්සේ එහෙම වෙන එකත් සාධාරණයි. ඒත් පොඩි වෙලාවකදි හරි ආපහු ලියන්න පුළුවන් නම් වටිනවා. දුමීලා මේ දීපු කික් එක සෑහෙනන් වටිනවා. මොකද අර මොකක්ද බ්ලොක් එක හැදුනම ආපහු ලියන්න ගන්න හරි අමාරුයි. 

  බ්ලොග් වසන්තේ ඉවරයිලුනේ අදින්. මේක මගෙන් ලියවෙන තෑන්කින් පෝස්ට් එක. ඒ වගේ එකක් හරි කරලා ආපහු මිනිස්සු ලියන්න ගෙන්වා ගත්ත එකට උඹලාට බොහොම ස්තුතියි. මෙතන කියවන්න බැරි වුන අයට ඔක්කොම ලින්ක් ටික තියෙනවා වගේ.

 අලුත් පරණ බේදයකින් තොරව බ්ලොග් ලියවෙන්නයි ඕනේ. 

(නිතර කොමන්ට් නොකලට ඔක්කොම පෝස්ට් නොකියවුවාට මාත් බ්ලොග් කියවන එක අතහරලා නම් නෑ. )
  

7 comments:

එන්න ආදරය බෝ කරමු..... !!!!! (බුරු බබාගේ අවුරුදු කතාව)


"අවුරුද්ද කියන්නේ සතුටටය.. "


"අවුරුද්ද කියන්නේ සතුටටය.. "

   ඩුබායි වට්ටක්කා එහෙම ලියා තිබුනාය.....

 හැම උත්සවයක්ම සමරන්නේ සතුට වෙනුවෙන්ය....

මට හිතෙන්නේ එහෙමය.   ඒක හින්දා මම නම් ඕනෑම උත්සවයකට මා සැමරුවත් නැතත් සුභ පතනවාමය.

 ළමා කාලෙන් පස්සේ මම අවුරුද්දක් සැමරුවේම නැති තරම්ය.

 අපි පොඩි කාලේ  කොමර්ශල් අවුරුදු තිබුනේ නැතිය. එය ආදරය හා සතුට වෙනුවෙන් වූ එකක් බව මට මතකය. 
 රට රටවල් ගානේ යන්නට කලින් අම්මා අවුරුදු වෙනුවෙන් අපිව පෙරහුරු කරනු ලැබුවේ මාස ගාණක් තියාය. ඇය කියා දුන්නේ ආදරය ගැනය. මනුස්සකම් ගැනය.

    ඒත් ඒ කාලේ මට ඒවා අරහං ය. 
        මට ඕන වුනේ ලොකු රතිඥ්ඥා පෙට්ටිය. නිලා කූරුය. බඹර චක්‍රය. අහස් කූරුය. කැට ගහන්නය. පංචි දමන්නය. ලස්සන ලස්සන ඇඳුම්ය.
ඒ විතරක් මදිව පවුලේ බාලය හින්දා ද මට බෝනස් ලැබුනේය.
 හැට හුට හමාරක් නෑ පරම් පරාවම විතරක් නොව ගමේ මිනිස්සුද මට තෑගි ගෙනත් දුන්නෝය. මුදල්ද දුන්නෝය.

      ඒත් එකක්වත් රුපියල් සීයකින් හෝ එහා වටිනාකමකින් වුනා නම් සීමිතවය. අපේ කාලයේ මුදලට වැඩි වටිනාකමක් ලැබුනේය. රුපියල් විස්සක් ලැබුනා කියන්නේ ඒ කාලේ හැටියට අද රුපියල් පන්දාහක් හා සමානයි කියා මට හිතෙන්නේය. ඒත් ඒ රුපියලේ දෙකේ විස්සේ පනහේ සීයේ කියා නැතිව ඒවට වටිනාකමක් තිබුනේය.

 මම දකින දකින කෙනාට ගිහින් වැන්දේ වෙන මොකුත් හින්දා නොව තෑගි බලාගෙන බව ද මට මතකය. (ඒත් මම ඒක ප්‍රසිද්ධියේ කීවේ නැත.)

   ඒත් මගේ අම්මාට උවමනා වුනේ අපිට හැදියාවන් කියාදෙන්නය. බොහෝ විට ඇය මගේ මුදල්ද පන්සලේ වැඩ වලට දෙන්නට කීවාය. ඒ කාලේ මා මරන්නට ගෙනිච්චා නම් ඊට වඩා හොඳයි කියා මට සිතීද තිබිනි.

    ඒත් ඇය මගේ අම්මාය. මට ජීවිතය, ආදරය ගැන කියාදීපු, මම අදහන ලොකුම මනුස්සයාය. ඇය මනුස්සයෙක් වුනා දැයි මට අදටත් විස්වාශ නැත. ඒතරමට ඇයගේ ජීවත්වීමේ කලාව මනුස්සකමෙන් දෙව්ලොවට සමාන වූ නිසාය. නැත්නම් මා වැනි හිතුවක්කාර දරුවෙක් මියගිහින් හෝ හොඳ ළමයෙක් කරන්නට ඇයට නොහැකිය.

මා ජීවිතය පටන් ගන්නත් කලින් ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය.   එදා පටන් මට අවුරුද්දක් තිබිලාම නැත.

   ඇත්තටම ගණන් බැලුවහොත් ඉන්පසු ගෙවුන අවුරුදු විසි දෙකෙන් මා ලංකාවේ අවුරුදු සමරා ඇත්තේ දෙපාරක් විතරමය.



  

 මෑත කාලයේ නම් දෙදහස් දහයේදීය.

 එතකොට අවුරුද්ද කොමර්සලයිස් වී තිබුනේය.

   හවුස් ඔෆ් පැසන් එකට ගිහින් ඉල්ලන ගානක් දී ගෙදර අයට හා දන්න කියන හැමෝටම ඇඳුම් අරන්, දකින දකින කඩ වලට ගොස් කෑම බීම ගෙදර අරන් ගිය අන්තිම අවුරුද්දය.  අක්කලා දෙන්නයි, අයියලයි, ළමයි යි ඔක්කොමලාම අයියලාගේ ගෙදරට එකතු වුන අන්තිම අවුරුද්දය.

 එදා අර අම්මාගේ ආදරයත් එක්ක තිබුන අවුරුද්ද වෙනුවට කොමර්ශල් අවුරුද්දක් මා විසින් අත්දුටුවෙමි .


මා හැමෝටම හොරෙන් අඬා උඩවලවට නාන්නට ගියෙමි  

අවුරුද්දේ ඇතිවෙන්න කඳුළු දිය කරමින් උඩවලවේ වැවේ මා නෑවෙමි.


  ඊට පසුව කවදාවත් මා අවුරුදු සමරන්න ගෙදර නොයන බව මා දැනගත්තෙමි.



    " අදත් අවුරුදුය. පුරුද්දක් විදියට මා අපේ ලොකු අක්කට, පොඩි අක්කට ළමයින්ට මස්සිනාලට වෙන වෙනම එකා ගානේ කතා කර විශ් කරන දවසය  "  දෙදහස් එකොලහ වෙනකම්ම අයියාටද එසේ කලෙමි. ඔහුගේ දරුවන්ද, බිරිඳද පැකේජ් එකට අයිති වුනේය.

   ඒත් ඉන් එහාට මා අයියාට විශ් කලේ නැතිය. අක්කලා දෙන්නා ඒ වෙනුවෙන් මට නොවදිනා වැඳුම් වැන්දාය. අම්මාගේ ආදරයෙන් නොඅඩුව බෙදාගන්න අක්කලා දෙන්නට මා අයියා සමහ අහිතවත්වීම ඔවුන්ගේ කෑම වේල නොකෑවා හා සමාන විය. ඒ මදිවට අම්මාගේ ආදරය අපේ ඉස්සරහා පරම්පරාවටත් අරන් ගිය අක්කාගේ ලොකු පුතා දවසින් දවසට "පුංචි මාමිට කෝල් කරා දැයි" අසයි. ඔහුගේ ලොකුම උත්සාහය වී තිබුනේ පුංචි හා මාමි කතා කරනවා දැකීමය.  ඒ ඔහු ඒතරමටම අපේ අම්මාගේ දරුවෙක් වීම හේතු කොට ගෙනය.

    මම හිතුවක්කාරය. කිව්වොත් කිව්වාමය. දෙවියන්ට වුනත් එහෙමය. . ඒත් ලෝකේ හැම එකාටම ආදරය කරන්නෙමි . සමාව දෙමි. රටේ ලෝකේ නොදන්නා උන් වෙනුවෙනුත් යුතුකම් ඉශ්ට කරමි. ඒත් තමන්ගේ අයියාට එහෙම පෙන්වන්නේ නැතිය. පොඩි අක්කාට දවස් දෙකෙන්, තුනෙන්, සතියෙන් කතා කර අයියා කොහොමදැයි අසමි. දන්නා කියන හැමෝ එක්කම ඇගේ අයියා ගැන කියා දුක් වන්නෙහිය. ඒත් මා ඔහුට ඒ බව නොපෙන්නුවෙමි.


     පොරක් වන මගේ හැටි එහෙමය.  ( පොරක් යනු ලොකු මිනිහෙක් වීම නොවේය)


 අපේ අක්කාගේ ලොකු පුතා හිටි ගමන් ඇවිත් "පුංචි, මාමි විල් ලව් යූ ෆෝ එවර්" කියන්නෙහිය. ඒ එක්කම "යූ ආ හිස් බෙස්ට්" කියන්නෙහිය. "සෝ ඉට්ස් සෝ අන්ෆෙයා යූ ගයිස් නොට් ටෝකින්" කියන්නෙහිය.

 අද අක්කාට කතා කර මම ෆෝන් එක තිබ්බෙමි. පස්සේ අක්කා මට ආපහු කතා කළාය . මා මගේ සහෝදරයන්ට පණ බයය. ඔවුනුත් මට එසේමය. මා ළඟ පාතක ඉන්නවා නම් මට ඇහෙන්නට පෙනෙන්නට මම අකමැති කිසි දෙයක් නොකරයි. ගම් වල ජීවත් වන ඔවුන් තවමත් ජීවත් වන්නේ "කල්චර්" එක ඔළුවේ තියාගෙනය. ඒවාට ළමයාගේ ඉඳන් ඔවුන් හැමෝම මගෙන් බැනුම් අසා ගනිති. ඒ හන්දා  පොඩි ළමයාගේ ඉඳන් මට බයය. ඒ ඔවුන්ගේ, පොඩි එකා හා රට පුංචී වන මම, කල්චර් එක ඔවුන්ගේ ඔළුවේ ගසා ආදරය ගැන කියන හින්දාය. 

  

     ඉතින් අද අක්කා කෝල් කර කීවේ අයියාට කතා කලේ නැද්ද යන්නය. මම බය වීමි. එහෙමය. ලොකු පොර ටෝක් දුන්නට මම තාමත් අපේ අක්කට හෙන බයය. මම "ම්ම්ම්" කියද්දිම "ඔයා අයියට කෝල් කරන්න. අනිත් කාටවත් කෝල් කරේ නැති වට එයාට කතා කරලා සුභ පතන්න" යැයි කීවේය. මම "හ්ම්ම්" කීවෙමි.

     මම ගෙම්බෙක් වගේ ආපහු ගොස් දුරකථනයට සම්බන්ද වුනෙමි. ගෙදර ෆෝනය උත්තර දෙන්නේ නැත. මොබයිල් එකටද කිහිප පාරක් ගෙන බැලුවෙමි. ඇත්තය. ඒ මගේ අයියාය. මම ඔහුට මගේ අක්කලාටත් වඩා ආදරය කරමි. එය හැමදාම එහෙමය. එය කවදාවත් වෙනස් වුනේ නැත. ඉතින් මා ඔහුට ආදරය ගැන මුලින්ම ඔප්පු කර පෙන්විය යුතුය.  මම මගේ අම්මාගේ මාර්ගය අනුගමණය කල යුතුය. නැත්නම් මම ලෝකේ හැම එකාටම කරන ආදරේ තේරුමක් නැත. හංගාගෙන ආදරය කිරීම විහිළුවකි.

     මගේ අයියා යහපත් මිනිසෙකි. ඔහු සමාජයට වරදක් කර නැත. මම වගේමය.  ඒ මගේ අයියාමය. ඒත් ඔහු ඔහුට වැරදි කරගත්තෙකි. ඒක මට හා මගේ සහෝදරියන්ට අසීමාන්තික වේදනාවකි. එයට මම ඔහුට සමාව නොදෙන්නෙමිය. අයියාද නංගී වගේම පොඩි අක්කාගෙන්, අක්කාගේ පුතාගෙන් දවසින් දවසට මම ගැන අහන්නෙහිය. ඒත් අපි දෙන්නාගේ ආදරය අහංකාරය.

 අක්කා කියපු හින්දා වුනත් මම අද අයියාට කතා කලෙමිය. ඔහුට සුභ අලුත් අවුරුද්දක් වේවා කීවෙමි. එය සුභ කර ගැනීම ඔහු කරගත යුතු දෙයකි.

  


 මෙය මගේ කතාව වුනත්, මෙහි ලොකු යතාර්ථයක් ඇතිබව අපි තේරුම් ගත යුතුය.  
 ලෝකෙට ආදර්ශ දෙන්න කලින් අපි නිවැරදි විය යුතුය. ඒ මගේ අයියාය. ඔහු මට වරදක් කර හෝ නැති වුනත් එය මා ගණන් ගතයුතු නොවේ. විශේශයෙන් ඒ අපිය. 


  අවුරුදු හෝ එකී නොකී උත්සව යනු ආදරය බෙදාගන්නා තැන්ය. ලෝකය හදන්නට කලින් අපි අපි ටම ආදරය කලයුතුය.

 අවුරුදු යනු ආදරයය..... අනෙකාගේ සතුට වෙනුවෙන් අපි සතුටු වීමය.....

 ඒ මගේ,  අවුරුදු වෙනුවෙන් හැමෝටම,  ආදරයේ පනිවිඩයයි.....


 එන්න අපි ආදරේ බෝ කරමු...... මනුස්සකම බෝ කරමු..... වර්ගවාදිකම් වලින් මිදී අපි හැමෝම එකිනෙකා වෙනුවෙන් ආදරය බෙදාගමු....

  

   
    

(පසු ලිවීම.) 

අයියා හා මා කතා නොකර හිටියේ අවුරුද්දක් හින්දා නෙවේය. දෙමාපියන් මිය ගියදා සිට අද වෙනතෙක් අපි හතර දෙනා ආ ගමනද බොහෝ දිගය. ආදරය පිරී තිබු ගමනකි. අපි එකෙක්වත් ඉඩකඩම් මිළ මුදල් හමුවෙහි වාද කරද නැත. නොකරනුද ඇත. ඒත් ජීවත්වීම යනු එය නොවේ. අපි අපිට පැවරුණු සමාජ වගකීම් තිබේ. අපි අපේ වෙනුවෙන් ජීවිත ගොඩ නගා ගත යුතුව ඇත. දරුවන් හැදීම, ඔවුන් යහපත් මිනිසුන් කිරීම යනු අපගේ වගකීමකි. 
 ඒවා අප රටේ ලොකේ මිනිස්සුන්ට නොකීවට අප වෙනුවෙන් ඒවා බෙදාගන්නෝ වෙමු. මම අසීමිතව බැඳීම් වලදී ඒ වෙනුවෙන් කැපවෙමි.  ඒ වෙලාවට මට අයියා හෝ මල්ලී කියා ප්‍රශ්නයක් නැත. ඔවුන්ගේ ළමයි මගේ නෙමෙයි කියාද ප්‍රශ්නයක් නැත.  යාළුවන්ගේද එසේමය. මගේ එක්ස්ලාගේද කියාවත් මට ප්‍රශ්නයක් නැත. ඒ ඔක්කොම මගේ ළමයිය. 
ඒවා මාව පෞද්ගලිකව ළඟින් ඇසුරු කරන පුද්ගලයන්හට අරුමයක්ද නොවේ. 

  අයියා හා ඔහුගේ පවුලද එසේමය. එතනදි ෆේල්වීම යනු මම ඔහුගේ තරහා කාරයෙක් යන්නම නොවේය.






 

11 comments:

Food rights for every one and My self

         මේ දවස් වල හැමෝම කියන කතාවක් තමයි හැමෝටම කෑම කියන එක. ඒක හැමෝගේම අයිතියක් කියලා EXPO  එකේ තීම් එකත් එක්කනේ.


     ඒ අයිතිවාසිකම හැමෝටම තියෙන්න ඕනේ කියලා මාත් එකහෙලා පිළිගන්න කෙනෙක්.

       මේ දවස් වල කල් ඉතුත්වන කෑම අපිට පැකට් පිටින්ම මුනිසිපල් කවුන්සිල් එකේ වෙනම කලෙක්සන් ඩිපාට්මන්ට් එකකට දෙන්නත් පුළුවන්. ඇත්තටම දාහක් හමාරක් අපි වටේ ඉන්න මිනිස්සු කෑම විසි කරනවා. ලොකු නාස්තියක් වෙනවා. ඒත් බිස්නස් එකක් විදියට වුනත් අපේ පාරවල් වලම රෝම් ලගේ ළමයි කෑම කන්න සල්ලි ඉල්ලනවා. මේක එක විදියක හරි අසාධාරණයි. මොකද රෝම් ලා රස්සාවක් කරන්නේ නෑ. ඔවුන්ගේ රැකියාව හිඟාකෑම හා හොරකම් කිරීම. අතින් කටින්, නාටු පෙරාගත්ත පොඩි එවුන්ව එල්ලගෙන ඉන්නකොට දැනෙන හැඟීම ගැන කියන්න මට තේරෙන්නේ නෑ. ඒක මහ මූසල හැඟීමක්. එකක් සල්ලි දුන්නොත් ඒක උන්ව ප්‍රමෝට් කිරීමක්. නොදුන්නත් අපේ වගේම ළමෙක්නේ කියලා අර ළමයාගේ පැත්තෙන් දැනෙන වරදකාරි හැඟීම මිශ්‍ර එකක්.


       ඒ මොනවා වුනත් සුපර්මාකට් එකේ ටිකක් වෙලා බලා හිටියම සමහරක් වයසක මිනිස්සු අතේ ශතේට ගැනලා බඩු ගන්නවා. මාකට් එක අස් කරන වෙලාවට විසි කරන එළවළු පළතුරු අහුලනවා. ඇත්ත මේ කාලේ ජීවත්වීම කියන්නේ අමාරු දෙයක්.( මේක මට කියලා වෙනස් වෙන්නේ නෑ. ) ඒ වගේ වෙලාවට ඔවුන්ට සල්ලි දෙන්නත් බෑ. බඩු අරන් දෙන්නත් බෑ. මොකද ඔවුන් හිඟන්නෝ නොවන නිසා, කොච්චර නැති වුනත් අපි හැමෝම ආසයි කාගෙන්වත් ඉල්ලන්නේ නැතිව ජීවත්වෙන්න. ඒ විතරක් නෙමෙයි පිට රැටියන් වෙනුවෙන් සමාජසේවා සංවිධාන, පල්ලි වලින් හැට හුට හමාරක් ආධාර, කෑම බීම තිබුනට මේ මිනිසුන්ට කවුරුත් පිහිටට එන්නේ නෑ. කොටින්ම ඒ මිනිස්සු නොපෙනෙන කොටසක් සමාජයේ.....
මේ මගේ ගෙදර කතාව. මම සාමාණ්‍යයෙන් පැකට් කල බීම ගන්නේ නෑ. ගන්නේ එක්කෝ කොක්ටේල් එකකට, එහෙම නැත්නම් ගෙස්ට් කෙනෙක් ආවම බොන්න දෙන්න. දැන් සුමාන දෙකකට විතර කලින් එහෙම ඇරපු ඔරේන්ජ් ජූස් බෝතලයක් ෆ්‍රිජ් එකේ තිබුනා. ඊයේ අහම්බෙන් ඒක දැකලා දවල්ට කන ගමන් මාත් අර ලංකාවේ බහුතරයක් වගේ ඔරේන්ජ් ජූස් බීවා. අද උදේටත් බොනවා කියලා මම හිතාගත්තා. ඒක අර විසිකිරීම වෙනුවෙන් දැනෙන දුක.


     මොකද කෑම බීම කියන්නේ මගේ එක සබ්ජෙක්ට් එකක්. මම පොර ටෝක් දෙනවා අනිත් අයට හැමවෙලේම කෑම බීම ගැන.

    අද උදේ කෝපි එක හදාගන්න ගිහින් බලනකොට දැක්කේ ඒ සෙතේම වෙච්ච කිරිපැකට් කිහිපයකුත්. මම සාමාන්‍යෙන් හැමදාම කිරි බොන කෙනෙක් නෙමෙයි. අනික මම බොන්නේ කෝපි එක ෆේඩ් වෙන්න කිරි දාගෙන මිසක් කිරි කෝප්පයක් නෙමෙයි උදේට. ෆ්‍රිජ් එකේ තිබුන එක කිරි එකක් ඊයේම විසි කරලා අද උදේ කිරි පැකට් බලන්න ගියාමයි දැක්කේ ගෙදර කල් ඉකුත් වෙච්ච කිරි පැකට් තව තියෙනවා. මුදල් ඇතින් බැලුවත් කිරි පැකට් එකක් 1,65€ක් ද කොහෙද. මට කිරි පැකට් එකක් සතියකට දවස් ගාණක් බොන්න පුළුවන්. සිංහල කෑම හදනවා නම් මම කිරි පැකට් යූස් කරන හින්ද ගොඩාක් වෙලාවට නරක් වෙන්න කලින් සේෆ් වෙන්න පුළුවන්.


    අද මම ඕනේ එකක් කියලා අර කිරි පැකට් එකක් බොනවා. හේතුව මම ඉගෙනගන්න ඕනේ කෑම මට අවශ්‍ය පමණට ගන්න. නාස්ති නොකරන්න. ඒ හැම නාස්ති කරන දෙයක්ම තව කෙනෙක්ගේ අයිතිවාසිකමක් නැතිකිරීම කියලා මටම හිතෙනවා. එහෙම වුනාම කඩෙන් බඩු ගන්න ඉස්සෙල්ලා ඕක මතක් වුනාම ආයේ කාලෙකට ගන්නේ නෑ. මම දන්නවා මම ගැන.

     ඊටත් වඩා අර මුනිසිපල් කවුන්සිල් එකේ වගේ නාස්තිය නැති කරන්න කෑම එකතු කරනවා නම් හා එකි නොකී රෙස්ටුරන්ට් වල, කෑම හල් වල අපිට මොනවද දෙන්නේ කියලා අපි හොයලා බලනවද? මේවා බීල ලෙඩ වුනත් මම දන්නවානේ මොකක්ද කියලා.....

     අපි කට පරෙස්සම් කරගන්න බැරිව ලෙඩ දාහක් හදගනිද්දි , කන්න බොන්න නැතිව අපි වගේම මිනිස්සු, පොඩි ළමයි කීයක් නම් දුක් විඳිනවද?

     අපේ ගෙවල් ඉස්සරහා පාරවල් වල ඉන්න රෝම්ලාගේ ළමයි දිහා ඉබේ බැලෙන්නෙත් ඒ හැඟීමෙන්මයි. ඒත් එක්කම මගේ මනුස්සකමට කෙළවුනාට, ඉල්ලගෙන කෑවා වගේ දැනුනත් මට ඉන් එහාට වෙනස් වෙන්න බැරිත් ඒකමයි.

ඒත් ලෝකේ කොයිතරම් අසාධාරණද?

     දැන් ඔන්න මම කල් ඉකුත් වෙච්ච කිරියි, අර දවස් දහයක් හමාරක් ෆ්‍රිජ් එකේ තිබුන ඔරේන්ජ් ජූස් ඉ බීලා ඉන්නේ. මම මැරුනොත් හෙම අමුතුවෙන් හේතුව හොයන්න ඕනේ නෑ. අනික මේ පොඩි එකටත් ලෙඩවෙන චොර වෙන මට මාවම එපා වෙලා අර පාරේ ඉන්න පොඩිළමයි කවදද සෞඛ්‍යය කියලා දෙයක් දැනගෙන හිටියේ. ඒත් උන් ඔය යහතින් ඉන්නේ....

6 comments:

මල්ලිගෙයි මගෙයි කතා...



      මේ මාසේ අපේ පොඩි මෑන්ගෙ බර්ත්ඩේ එක. ඉතින් දැන් ටික දවසක ඉඳලා මට එක පාරට මතක් වුනා මම එයාට ගිෆ්ට් එකක් දීලා නෑ නේද කියලා... පොඩි මෑන්ගේ අප්පච්චිගේ හොඳකම කියන්නේ මම තාම පොඩි මෑන්ව දැකලා තියෙන්නෙත් ෆොටෝ එකකින් දෙකකින්. ෆොටෝ පෙන්නන්න කීවම අපේ නෝටි බෝයි කියන්නේ ඕනේ නම් ඇවිත් බලලා යන්න කියලා. හරියට අර එහා වත්තේ ඉන්නවා වගේ.... wink emoticon

     ඉතින් ඔය ඉස්සරහට යෙදෙන පොඩි මෑන්ගේ බෝත්ඩේ එකට මට හිතුනා පොඩි මෑන්ට ආදරේ කරන්න, සෙල්ලම් කරන්න බව් බබෙක් අරන් දෙන්න. ඉතින් මම අපේ මල්ලිට කීවා ඉහල අවසර එහෙම අරන් එන්න කියලා.

     ඇත්තටම කීවොත් බව් බබෙක් ඕනේ මට. මට ඕනේ මගේ ඇඳේ මම එක්ක නිදාගන්න, මම ගෙදර ඉන්නවා නම් මම වටේ දුවන පනින, මට සෙල්ලම් කරන්න, පාක් එක්කන් යන්න, ජොගින් යනකොට මාත් එක්ක ජොගින් යන්න එන ඩොගී බබෙක්. ඒත් මට බව් බබෙක් ගන්න අවකාශයක් නෑ. (සිංගල්, වර්කින් ගර්ල් කෙනෙක් විතරක් නෙමෙයි මෙට්‍රොපොලිටන් සිටි එකක ඉන්නකොට යම් යම් සීමා වලට යට වෙන්න වෙනවා අපිට. නීතියක්ම නැතත් මම රෑ වෙනකම් වැඩ කරලා ගෙදර එනකම් මගෙ ඩොගී බෝයි තනියෙන් ඉඳියි, එයාට පාළු හිතෙයි කියලායි මේ බය තියෙන්නේ. ඊටත් වඩා මම ට්‍රැවල් කරනකොට එයා ඩෝග් ඇසිස්ටන්ස් දැම්මොත් එයාට තව දුක හිතෙයිනේ. )


          ඉතින් මම ආසයි පොඩි මෑන් ඒ මට නොලැබෙන ආදරේ හොයාගන්නවට. අනික විසේසයෙන්ම ලංකාවේ මිනිස්සුන්ට ආදරේ ලබන හැටි, කරන හැටි උගන්වන්න ඕනේ කියලා මම තදින් අදහනවා. විසේසයෙන්ම ගෙදරකින් ඒක ලැබුවම ඒ ළමයාට ඉස්සරහට ලොකු ප්‍රශ්න නෑ.

        නැත්නම් අර මට වෙනවා වගේ කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවම, හග් එකක් දුන්නම, හෝ ආදරය බෙදාගත්තම ලෝකේ ඉන්න නරකම මනුස්සයා කියලා හංවඩු ගැහෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. හොඳම ආදරයේ එක්සෑම්පල්ස් දෙන්නේ සත්තු. එයාලා ලංකාවේ ඉන්න මිනිස්සු තරම් ප්‍රාථමික නෑ.

     බොරු කියන්න ඕනේ නෑ නේ වස්ගමුවේ හිටිය කැලෑ අලිත් හග් කරනවා මම දැක්කා. දෙහිවල ටෙලිෆෝන් වයර් එකක හිටි රතු දිමියොත් හග් කරා හම්බවෙන හම්බ වෙන හැම කූඹියාවම.
ඒත් ඒ රටේම ඉන්න දියුණුයි කියන මිනිස්සු හග් කලාම උන් බයෙන් වෙව්ලනවා. සමාජය මොනවා හරි කියයි, හිතයි කියලා. ( හග් කිරීමයි, කිස් කිරීමයි දෙකක් හරි)

      මට ඕනේ අපේ පොඩි එකාවත් ඒ තත්ත්වයෙන් මිදිලා ආදරේ ගැන, යහළුවෝ ගැන එයිට වඩා ඇඩ්වාන්ස් විදියට හිතනවා දකින්න.


       අපේ මල්ලි මට කීවා මොකක්ද ඕයි තමුසෙට තියන බලු පිස්සුව කියලා... ඇත්ත ඒක ආදරයත් එක්ක එන බලු පිස්සුවක්. මට නැතත් ඉස්සරහා එකාට හරි ඒ ආදරේ බෙදාගන්න මම ආසයි...

(copied from Facebook status of mine. )

0 comments:

එහෙන් මෙහෙන් කතා.... Memories


     
        මේ ඊයේ පෙරේදා දවසක අපේ ගෙදර එන ගමන්  බ්ලොග් යාළුවෙක් මට ගෙනත් දුන්නා ඇඟිලි විස්කෝතු පැකට් දෙකකුයි, සෝයා පැකට් එකකුයි තව අපේ ගෙදර දහදෙනෙක් ඉන්නවා වගේ කෑමයි. තව ඔය එක එක ඒවා තිබුනා. ඒවා කියන්න ඕනේ නෑනේ.

 ඒ ඇඟිළි විස්කෝතු කතාව ෆේස්බුක් එකේ ලියවුනා ටික දවසකට කලින්.  

 මේ මේ පැය භාගයකට විතර කලින් වුන සිදුවීමක්.
 
   අපේ ක්ලබ් එක හෙට හවසට වහනවා රෙනෝවේසන් එකකට.      පහට විතර ක්ලබ් එකට ගිහින් යාළුවෝ එක්ක ඕපදූප කියෝ කියෝ ඉඳලා ගෙදර ආවේ දහයට විතර කිට්ටු වෙලා. එනකොට මට පොඩි බඩගින්නක් තිබුනා. (අද දවල්ට අලියෙක් වගේ කාල කෑම වල ෆෝටෝ පෙන්නලා මල්ලිගෙන් බැනුම් අහලත් හිටියේ.)කොහොමහරි ගෙදර ඇවිත් කන්න දෙයක් හොයද්දි මට මතක් වුනා සුමානෙකටත් එහා දවසක ගෙනාපු නෝකෝල් අල වගයක් තියෙනවා කියලා. ඒකත් එලියට අරන් මම බත් හදන්න ගන්නකොට මතක් වුනා අර බ්ලොග් යාළුවා ගෙනත් දීපු සෝයා පැකට් එක.

 සෝයා එකත් හදලා කෑම කනකොට මට මතක් වුනා ඉස්සරලම මම සෝයා කාපු දවස. එවෙලේ මම හිටියේ යාළුවෙක් එක්ක චැට් එකක. එයාට ඒක කියද්දි එයා තමයි කිව්වේ නොස්ටැල්ජික් ගමේ කතා බ්ලොග් එකට ලියන්න කියලා.

 එහෙමයි මේ සටහන බ්ලොග් එකට එන්නේ.

මම මුලින්ම සෝයා මීට් කාපු දවස මීට අවුරුදු 35කටත් විතර එහා වුනාට මට හොඳට මතකයි. 

      අපේ ගමේ  ඉඳන් ටිකක් දුර ගියාම තමයි බඹරගල ආරණ්‍ය සේනාසනය තියෙන්නේ. මේ කියන පොඩිම කාලේ පළවෙනිම පාරට තමයි මම එහේ ගියෙත්. ඒ කාලේ එහේ තනිකරම කැලෑවක්. අලියෝ හෙමත් යන එන. ඒ මදිවට ඒ පන්සලේ හැමතැනම බඹරු. ඒක නිසා සාමාන්‍යෙන් පොඩි ළමයි එක්ක යන්නේ නෑ වෙන්න ඕනේ. කොහොමහරි එදා නම් අම්මලා අපිව එක්කන් ගියා. අපි ගියේ දානයක් දෙන්න. අද කාලේ වගේ ලොකු ලොකු චෙෆ් ලා ඇවිත් දානේ උයන්නේ නෑ ඉස්සර. ගමේ මිනිස්සු ඔක්කොම ගිහින් තමයි දානේ හදන්නේ. මතක විදියට එතන පන්සලේ හාමුදුරුවන්ට අමතරව කැලේ අස්සේ භාවනා කරපු ගිහියොන් හා පැවිද්දන් තමයි වැඩිපුර හිටියේ.

       පස්සේ කාලෙක මට මතකයි මම එහේ ගියා. එතකොට මතකයි එහේ කැළේ අස්සේ භාවනා කරනන් පොඩි පොඩි ගෙවල් තිබුනා. කැලේ සර්පයෝ, කොටියෝ හෙම හිටියා. මම නම් කොටියාව දැක්කේ නෑ. ඒත් ඒක පිළිගන්න පුළුවන් සාදක ඕනේ තරම් තිබුනා. පස්සේ කාලෙක ප්‍රේමදාස මහත්තයාගේ කාලේ අපේ දැන් ඉන්න සජිත් මහත්තයාලගේ ස්වර්ණමය යුගයේ එස් ටී එෆ් එකයි හමුදාවයි ගෙනල්ලා හතර පැත්තෙන්ම වට කරලා මහ ලොකු මෙහෙයුමක් කරලා හෙලිකොප්ටර් වලින් එහෙම බැහැල අර ලෙන් විහාරයේ තිබ්බ නිදන් ඔක්කොම ටික නම් අරන් ගියා. හාවෝ අල්ලන්න ආවම පඳුරටත් ගල් ගහනවා වගේ ගමේ හිටිය අහිංසක කොල්ලෝ සීයක් හමාරකුත් අල්ලන් ගියා. ඒ කොල්ලෝ ආයමත් ආවද කියන්න නම් දන්නේ නෑ.

      ඒ කාලේ එහේ මිනිස්සු විශ්වාස කරා ඔය කියන ආරණය පුරා අමුතු බලයකින් අර නිදන් හෙම ආරක්ශා කරනවා කියලා. මොකද ඒ කැලේ අස්සේ මිනිහෙකුට තියා සතෙකුටවත් ජීවත්වෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අලි විතරක් නෙමෙයි, කොටියා( මම හිතන්නේ දිවියා වෙන්න ඕනේ අපි මේ කොටියා කීවට) හා සර්පයෝ විතරක් නෙමෙයි ගල් ගුහාවල්, කැලෑව අස්සේ දඩ සයිස් එකේ දෙබර කූඩු තිබ්බේ. ඒත් ඒ භාවනා කරන එකම කෙනෙකුටවත් කරදරයක් වුනේ නෑ. මට මතකයි ඒ කාලේ කැලේ අස්සේ මිය ගියපු කාව හරි බලන්න ගිය අපේ අප්පච්චිලා හරි කවුරු හරි ඔය වගේ කතා කියනවා. ඒ හාමුදුරුවරුත් බොහොම කෙසඟ සිරුරු තිබුන භාවනායෝගීව හිටපු සියළු දේවල් අතහැරපු මිනිස්සු කියලා නම් මටත් විශ්වාසයි. ඔය අද වගේ නානසාරලා වගේ දහයකට ගහන සයිස් වල හාමුදුරුවරු කවුරුවත් එහේ හිටියේ නෑ.

      මොනවා වුනත් අපේ සජිත් මහත්තයා පැටියා කාලේ ඔය නිදන් ගන්න එනකොටනම් එක දෙවියෙක්වත් ඉඳලා තිබ්බේ නෑ.
 


     ඒ කතා වලින් වැඩක් නෑ. මට කියන්න වුනේ සෝයා මීට් කතාවනේ. ඔය පන්සලට මුලින්ම ගිය දවසේ දානෙට හදලා තිබුන කෑම එකක් තමයි සෝයා මීට්. ඒ කාලේ මස් හෙම හාමුදුරුවරු කන්න නැතිව ඇති. ඒකනේ ඒවා හදන්න ඇත්තේ. ඒත් අද වගේ ක්ෂණික ආහාර යුගයක් නොවුන මේ කියන කාලේ සෝයා මීට් කියන්නේ අපිට අමුතුම කෑමක්. මම හිතන්නේ ඒ වෙනකොට පරිප්පුවත් කාපු නැති අපිට කලින් ළමයි සෙට් එකත් මේ වගේ කෑම හඳුනන්නේ නෑ. කොහොමහරි එදා තමයි මම සෝයා මීට් කියන්නේ දිව්‍යමය ආහාරයක් කියලා දැනගත්තේ.
   
     අදටත් ඉඳලා හිටලා හරි ලංකාවට ගියාම සුපර්මාකට් එකකට ගිය ගමන් මම ගන්න කෑමක් තමයි සෝයා මීට්. මිරිස් නොකන මට හරියන කෑම හදන ගෙවල් ලේසියෙන් හොයාගන්නත් අමාරු හින්දා මම ගෙදර යනකොට නම් සෝයා අරන් යනවාමයි. ඒත් අපේ පොඩි අක්කා මට ඒවා හදලා දුන්නා කියලා මතකයක් නෑ. ඒ විතරක් නෙමෙයි මෙහෙත් ඔය අවුරුද්දකට සැරයක් හරි ඉන්දියන් කඩේකට ගියාමත් මම සෝයා මීට් ගේනවා. ලංකාවෙන් එනකොටත් බෑග් එකේ එකක් දෙකක් දාගෙන එනවා. අර ඒවයේ තියෙන කුඩු පැකට් එක පැත්තකට විසි කරලා මම මගේම රෙසිපි එකකට සෝයා හදනවා. ඊට පස්සේ අලි බබා වගේ අර අතීත මතක අස්සේ රවුම් ගගහා කනවා.

    මොනවා වුනත් මම සෝයා එක්ක ඒ තරම් ආදරේ අර මුලින්ම පන්සලේදි කාපු හින්දා කියලා මට හොඳටම විස්වාසයි.

 
 අවුරුදු ගානක් තිස්සේ ලංකාවට නොගිය මට දැන් ඉවසීම උපරිමයට ඇවිල්ලා ඉන්නේ. අර චෙෆෑකිව හෙම shoot කරන්න කොන්ත්‍රත්  දීලා තියෙන්නේ. ගමේ කෑමයි, බීච් ගැනයි, ගමේ විස්තරයි කියලා ඒවා අහලා මට නිවාඩු එන්න ඕනේ එකේ උපරිමයෙන්. 

 ඒ අස්සේ අපේ මල්ලිලා, මගේ යාළුවන්ට මාව මිස් කරවන්නත් ඕනේ හින්දා මාත් හිටු කියලා මේ දවස් වල food-porn . එතකොට අපේ මල්ලිගෙන් ටිකක් බැනුම් අහගන්නකොට මට හරි සතුටුයි. ඇයි උන්ටත් මාව මිස් වෙනවානේ ඒ කියන්නේ.

  ඒත් අර ඉස්සර වගේ රසට සෝයා හදන්න අම්මා ආයේ එන්නෙත් නෑ.

 
  මේ ඔක්කොම අස්සේ මගේ නොස්ටැල්ජික් මතක එක්ක මම පැයක් එක්ක ඇඬුවත් එක්ක මේ ලියන අස්සේ....
 
 මොනා කරන්නද ඉතින්....


( අද මම දන්න කියන බ්ලොග් සහෘදයෙකුගේ උපන් දිනයත් එක්ක. මම හිතන්නේ මට වඩා මගේ ගම ගැන දන්නෙත් ඔහු. ඉතින් ලස්සනට නොලිය වුනත් මේ පෝස්ට් එක ඔහුට dedicate කරනවා මම. ;)

 සුභ උපන්දිනයක්  ....    ....!!!!       Many Happy Returns.......!!!!!



2 comments: