චරු චුරු.......

 
    (මාසෙකටත් කලින් මේ පැත්තේ ඇවිත් ලියන්නම් කියලා ගියාට ලියන්න වුනේ නෑනේ. කොහෙද මේ ඡන්දයක් ද මොකක්ද එකක් හින්දා අපි බිසි වුනානේ. ඒක විතරක් නෙමෙයි ඡන්දේ අතුරු කතා වලටත් ටිකක් බිසි වුනා. )

      කාලෙකට පස්සේ ඒ කියන්නේ මාස අටකට නමයකට පස්සේ මේ සතියේ සඳුදා ආයේ වැඩට ගියා. ගෙදරට වෙලා කකා බිබී කම්මැලි වෙලා හිටපු මට මේ සුමානේ බොහොම වෙහෙසකර එකක් වුනා කිව්වොත් හරි. වෙහෙස තදටම දැනුනා. ඒත් අද වෙනකොට, ඒ කියන්නේ සිකුරාදා, සතිය ගෙවෙන මොහොත වෙනකොට ආපහු පරණ සිස්ටම් එකට හැඩ ගැහිලා කියලා හිතෙනවා. අද නම් ගෙදර ඉඳන් ඔෆීස් වැඩ කලේ. උදෙත් නැගිට්ටේම නමය හමාරට විතර. දවල්ට කන්න බ්‍රේක් එක ගන්න වෙලාව වෙනකොටත් වැඩ ඉවර වෙලා තිබුනේ නෑ. ඒ ගමන් හතර වෙනකම්ම ඉඳලා වැඩ ඉවර කරලාම කෝපි බොන්න ගියා. ජීජීට කේක් කෑල්ලක් අරන් යන ගමන් ඉතින් මටත් පැණි රස දොළදුකක් ආවා. ඒ ගමන් ටාර්ට් කේක් එකක්ම අරන් ගිහින් අපි කෝපි බිව්වා. අර සඳුදා වැඩ පටන් ගන්නකොටම ඩයටින් ප්ලෑන් එකකටත් ගිය හින්දාම ගිය ඉරිදා වෙනකම් කාපු බීපු පෙරේත කෑම මොකුත් නෑ.

       මම සාමාන්‍යයෙන් පැණි රස කන කෙනෙක් නෙමෙයි. දන්න කියන කාලේ ඉඳන්ම මම කන්න ආස වුනේ හැලප, වැලි තලපා, අර පැනි පොල් දාලා හදන ආප්ප, වගේ පැණි රස කෑම. පහුගිය කාලේ මගේ කෑම බීම රටාව වෙනස් වුන හැටි කීවොත් පැනි රසත් කිලෝ ගාණට කෑවා. එලියේ ඉන්නකොට කෑම ගැන වගේ වගක් නැති මම ගෙදර ඉන්නවා නම් මොනවා හරි කටේ දාගන්න පුරුදු වුනා. මටම ලැජ්ජයි මම එහෙම කොහොමද පුරුදු වුනේ කියලා. මොකද ඔය අපේ යාළුවන්ට එහෙම එහෙම ජන්කි ෆූඩ්ස් කනවා කියලා බනින්නේම මම ඉස්සර.


     ___________________________________________________________________________


        මොනවා වුනත් එක දෙයක් ඉගෙනගත්තා මේ කාලේ. අපිට අපිව විනාශ කරගන්න ඕනෙ වුනාට එහෙම ලේසියෙන් කරන්න බෑ.  මට මාවම එපා වෙලා හිටියේ. කොටින්ම ලෙඩ වුනාම, ඒ අසනීප තත්ත්වයන් අනිත් අයට කියලා ඒ අය අවුල් කරන්න බැරි හින්දා මම කලේ කා එක්කවත් කතා නොකර හිටපු එක. මාස ගාණක් එහෙම හිටියා. කෑම බීම ගන්නවත් ගෙදරින් එලියට නොයා ඉන්න තරමටම. පෝස්ට් සර්ජරි සිටුවේසන් එකේදිත් ඕනෙවට වඩා ඒ හැමදේමත් එක්ක මම ඩීප්ප්‍රෙස් වුනා. අන්තිමට බෙහෙත් පවා ගන්න වුනා. ආයේ මුළ ඉඳන් රටාවකට හැඩ ගැහෙන්න ගියාම ඉතින් ලේසි නෑ. හැමෝටම බණ කියපු පොර ටෝක් දීපු මටම එහෙම වුනාම හිතාගන්නත් බෑ. ඒත් වාසනාවකට මගේ හිතවත්ම යාළුවෝ වගේම, මල්ලිත් , අපේ ගෙදර අයත්, මෙහේ මගේ ඉන්න යාළුවොත් බැක් අප් එකකට සෑහෙන සපෝට් එකක් දුන්නා. අමතක කරන්නම බැරි අයත් ඉන්නවා. . සමහර දවස් වලට බලෙන් වගේ මාව ක්ලබ් එකට ඇදගෙන ගියේ සමහර යාළුවෝ. මොකද ඒ වෙනකොට මට සෝශල් ෆොබියා වගේ එකකුත් ඇවිත් තිබුනේ.

      මම ගැන සතුටු වෙන්න මට ඕනේ තරම් දේවල් හැමදාම තියෙනවා. ඒත් එක්කම දුක් වෙන්නත් ඕනේ තරම් දේවල් තියෙනවා.  මම දැන් අවුරුදු දහයක් විතරම තනියෙන් ජීවත් වෙනවා. ඒක මම සිලෙක්ට් කරගත්ත දෙයක් හින්දා ඒ අස්සේ එන ප්‍රශ්නවලටත් වගකිවයුතු වන්නේ මමමයි. මම කාටවත් කරදරයක් නොවුන කෙනෙක් වගේම මගේ උපරිම නිදහස අස්සේත් මම මගේ සින්ගල් ලයිෆ් ගැන උපරිමයෙන් එස්ටිමේට් කරලා කියලා තේරුනේ මේ කාලයේ තමයි. විශේසයෙන්ම මම හුරු වෙලා තිබුන ජීවිතය. වෙනදා වගේ මාසේ අන්තිමටබෑන්ක් එකවුන්ට් එකට සල්ලි නොආවම, මාසයක් දෙකක් තුනක් හතරක් ජීවත් වුනත් ඉන් එහාට ඕනෙම කෙනෙකුට තමන්ගේ ජීවිතය වෙනස්වෙන එක දරාගන්න බෑ. ඒ වෙනකොට ඇත්තෙන්ම මට ඇති වුනේ මම ගැන ලොකුම තරහක්. මීට අවුරුදු හතකට වගේ කලින් මගේම කියලා ෆර්ම් එකක වැඩ කරද්දි මම ඔය අන්තිම කාලේ වගේ දේවල් බලාපොරොත්තු වුනේ නෑ. තරුණ අපි වගේ අයට තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්නවාට වඩා හොඳ සේවාදායකයෙක් යටතේ වැඩ කරන එක කියලා මට තේරුනේ අන්තිම කාලේ. ඒත් දැන් ආයේ පස්සට යන්න බෑ. මට දැන් ඒ වගේ වැටුපකට හුරු වෙන්න අමාරුයි. මහ ලොකු දේවල් නොකලට මගේම කියන ජීවිතය අස්සේ යම් යම් දේවල් අස්සේ මම ඇබ්බැහි වෙලා. ඒවා මහ ලොකු දේවල් නොවුනට පුංචි මගේ ලෝකය ගොඩ නැගිලා තියෙන්නේ ඒවයින් කියලා මම දන්නවා. කොටින්ම 2012 වෙච්ච යම් සිදුවීමක් එක්ක මම වැඩ කලේම නෑ වගේ. ඒත් එක්කම එකින් එකට මට ප්‍රශ්ණ ආවා. මට අදටත් හිතාගන්න බෑ මම කොහොමද මේ වෙනකම් ජීවත් වෙන්නේ කියලා ඒ ප්‍රශ්න එක්ක බැලුවම. ඉස්සර මාසේ වියදම එස්ටිමේට් කරගත්ත ගාණටත් වඩා වියදම් කරපු මම අන්තිම කාලේ ලෝ බජට් වලට ඇජස්ට් වුනේ මට හිතාගන්නත් බැරි විදියට. මම හිතන්නේ මටම තාමත් හිතාගන්න බෑ එහෙම වෙන්න මටම පුළුවන් වුනේ කොහොමද කියලා.
  (සමහරු නම් කියලා හිනාවෙන්නේ ආයේ සුමානෙන් මම වෙනස් වෙනවා කියලා. මාව දන්න එහෙම යාළුවෝ මට ඉන්න එකම මදිද මම අහන්නේ!)

   ඒත් බැරි දෙයක් නෑ. හැමදේම පුළුවන්...... !  අපිට යම්දෙයක් වෙන්නම ඕනේ යම් යම් දේවල් වලට අපිට කොයි තරම් ඉවසීමක්, කැපවීමක්, දරාගැනීමක් හා උත්සාහයක් තියේද කියලා බලන්න. ඉතින් ජීවිතේ ඉවර වෙනකම් අපි ජීවිතේ ඉගෙනගන්නවා කියන එක මම අදහනවා.
 
   (මේ බණ කීවට ආයෙත් හෙටත් මම ගෙම්බෙක් වගේ චොර වෙන්නත් පුළුවන් කියලා මම දන්නවා.)

        දැන් ආයේ වැඩ කරන්න ගත්තම මේ ප්‍රශ්න ටික ටික විසඳ ගන්න පුළුවන් වෙයි. ඒත් ඉස්සර වගේ බෝධිසත්ව වෙන්න නම් කිසිම අදහසක් නෑ.  යාළුවෝ කවුද කියලාත් හොඳටම තේරුම් ගන්න මේ කාලේ මට හොඳටම උදව් වුනා.

     ( කෝපි කතා පටන් ගන්න ඕනේ. ඒත් මේ සටහන ඊට කලින් ලියන්නම ඕන වුන දෙයක්.....)


    

2 comments:

  1. අැත්ත අපි හැමදාම දෙයක් ඉගෙන ගන්නවා.... ඉස්කෝලේ ගිහිං ඉගෙන ගත්ත විදිහට වඩා ගොඩක් වෙනස් විදිහට අපි හැමදාම ප්‍රායෝගික ලෝකය ඉගෙන ගන්නවා.... ඒක තමයි ජීවිතය

    ReplyDelete
  2. ජිවිතේ කියන්නේ ඉගෙන ගන්න දෙයක්,හැම දවසෙම,හැම මොහොතේම මොනවා හරි තියෙනවා ඉගෙන ගන්න.දුක් වෙන්න තියෙන දේවල් අමතක කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් ගැන හිතලා සතුටු වෙන එකයි කරන්න තියෙන්නේ...:)

    ReplyDelete