කොස් වගේද බඩගින්න?


     
         
 
      ඉස්සර වගේ දැන් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වෙන්නේ නෑ. ආසාවටවත් වචන පහක් හයක්වත් ගැටගහගන්නත් බෑ දැන්. මම වගේම, හැමදේම ඈලියාවේ කියලා මගේ බ්ලොග් එකත් මන්දපෝශණය හැදිලා වගේ ඔහේ තියෙනවා


   අපේ තිලකේ මේ ඊයේ පෙරේද කොස් කතාවක් ලියලා තියෙනවා දැක්කම මටත් අර මගෙ තියෙන නරකම ලෙඩේ එලියට ඇවිත් තිලකේ බ්ලොග් පෝස්ට් එකේ මගේ මතක ටික ඔක්කොම වමෑරුවේ හරියට ඒක මගේ බ්ලොග් එක වගෙ කියලා හිතාගෙන. ඔය අතීත කතා වගේ මාතෘකා ආවම මගේ ඉවසීමේ සීමාවන් පරීක්ශා කරන්නත් මට සිද්ද වෙනවා. කෑම කතා ගැන මොකටද ඉතින් අමුතුවෙන් කියන්නේ... ;) 

 

 කොස් ගැන කතාවත් එක්කම මේ දවස් වල    හැමෝටම ආහාර කියන තේමාව යටතේ   EXPO MILAN 2015  (Feeding the planet, Energy for life) පටන් ගත්තා. ඇත්තටම කොස් ගැන කතාවට එන්න මට මතක්වුනේත් ඒක හින්දා. ඒත් අපි පරක්කුයිනේ

  

   මේ වෙද්දි බොහොමයක් දෙනාට කෑම හින්දා නැතිලෙඩ ඇති වෙලා. හරියට මේ අපි වගේ පුද්ගලයෝ තමයි මේ වෙද්දි ලෝකේ වැඩි හරියක්ම ඉන්නේ. අපි කාලා කාලා අල බෝල වෙවි බඩ අඩු කරගන්නයි, ලෙඩ අඩු කරගන්නයි කියලා ජිම් වලටයි, පාක් වලටයි, බෙහෙත් වලටයි අපේ කාලයෙන් බොහොමයක් වැය කරන මිනිස්සු විතරක් නම් කමක් නෑ අපිට කෑමක් කන්න ගියාම දාහක් තෝරා ගැනීම්. පාට අනුව, රස අනුව, ස්පයිස් අනුව, උයලාද අමුවෙන්ද වගේ එකී නොකී දාහක් වර්ගිකරණ වලට අපි පුරුදු වෙලා. විතරක් නම් කමක් නෑ අපි එළවළුවක් ගන්න ගියත් ඒක මොන බෙහෙත් ගහලා හදපු එකක්ද කියලත් හොයනවා. ඕර්ගනික් කියලා නම ඇහුනත් ඉල්ලන ගානක් දීලා ඕන කුණු ගොඩක හැදෙන ජරාවක් ගන්න අපි පැකිලෙන්නෙත් නෑ

කොටින්ම අපි පුදුම චරු චුරු කේස් වෙලා. අපිට දාහක් සිලෙක්සන්ස්



 (මේ තියෙන්නේ මේ දවස් වල මම කන කෑම. ඩයටීසියන් කන්න කිව්වේ මේවා. අනේ අර ඉස්සර කාලේ අපේ ගම්වල උදේ හවස හදපු කෑම. අද වෙනකොට අපේ ගෙවල් වල අය නොබලන කෑම. ( අර රෝ රයිස් එකේ මිල මෙහේ සල්ලි වලින් 5.50€ක් වගේ. සාමාන්‍ය හාල් එකක් 2€ ඉඳන් තියෙනවා. බාස්මති හෙම බොහොම ගණන් අඩුයි. දැන් ඉතින් පොශ්කෑම කෙසේ වෙතත් අපි නීරෝගි වෙන්න කන්නේ අර ගමේ කුඹුරේ/ඉඩමේ හාල්/ තිරිඟු ඒ විදියටම.)


      මම මම ගැන හිතද්දි ලැජ්ජවෙන මගේ ලොකුම වරදක් තමයි මේ. ඒත් මට ඒකෙන් මිදෙන්න බෑ. හැමදේටම වඩා අපේ පුරුදු අපිට ලොකු වෙලා. අපි ශරීරෙන් වගේම අපේ ගති පැවතුම් වලදිත් ලොකු වෙලා. චොර වෙලා

   

 ඒත් ලෝකේ පුරා පෝශ්යදායි කෑම වේලක් සපයාගන්න බැරි කී දෙනෙක් ඉන්නවද

 මට මතකයි මීට අවුරුදු දහයකට පහලොවකට විතර කලින් කෙන්යාවෙන් ආව මැරතන් දිවීම රැකියාවක් විදියට කරගත්ත යාළුවෝ සෙට් එකක් අපිට හිටියා. අනික අපි හිටපු නගරයේ බොහෝ විදේශ සිසුන් හිටියා. ක්ලබ් වලට සෙල්ලම් කරපු මේ කියන බොහෝ අය හවස් වෙනකොට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ගැවසෙන තැන්වලට ආවේ අඩු වියදමින් කෑම බීම ලබාගන්න විතරක්ම නෙමෙයි. ඔවුන් හමේ පාටින් කළුම කළු. ඉතින් ඔවුන්ගේ දුක්ඛිත ජීවිත වලට බටහිර රටකින් විවාහයක් කරගන්න බලාපොරොත්තුවක් ඇතිව කියලාත් හැමෝම දැනගෙන හිටපු කාරණයක්

 එක දවසක් අපිට කෑමකට එන්න කියලා අපි ඔවුන් නතර වෙලා හිටපු ගෙදරකට ගියා. ලංකාවේ ඉපදිලාත්,පොඩි කාලේ මහ ලොකු කියන්න දෙයක් නැති වුනත් තරමටම කෑම බීම කියන්නේ ලොකු අවශ්යතාවයක් කියලා මම දැනගෙන ඉඳලා තිබුනෙ නෑ ඊට කලින්. අපිට කන්න ( අපි විශේස අමුත්තෝ වෙලත්) තිබුනේ බඩ ඉරිඟු පිටි වලින් හදපු රොටී ජාතියක්. ඒවා කෑවම ගඩොල් වගේ. අනික අපිට එහෙම තද කෑම කන්න හුරුවක් තිබ්බෙත් නෑ. ඔවුන් අපි වෙනුවෙන්ම මස් ගෙනත් හදලා තිබුනෙත් අර ලංකාවේ හදනවා වගෙ මස් හොදි. අපි කාටවත් එහෙම කෑම ඊට කලින් කාල පුරුද්දක් තිබුනේ නෑ.( මේ කියන්නේ ප්රොපෙසනල් ස්පොර්ට්ස්මන්ස්ලා ගැන. ඔවුන් කාලෙත් එක මැරතන් එකක් දිව්වම 500€ක් වගේ අඩුම හොයනවා. දිනුවේ නැතත්.)

       ඔවුන්ට වඩා අසරණ වුනෙ අපි. මේ කියන්නේ අපි කාටවත් ජීවිතෙ අද තියෙන අත්දැකීම් තිබුන කාලයක් නෙමෙයි. (මම වගේම අනිත් යාළුවොත්) එදා තමයි මම දැනගත්තේ ඔවුන්ට බඩගින්න කියන එක ලොකු ප්රශ්නයක් කියලා. ඇත්තෙන්ම එදා මට මම ගැනම ලැජ්ජා හිතුනා. අපි අපේ කෑම වේලක් ගැන කොයිතරම් ප්රමාණයක් නාස්ති කරනවද? ඔවුන්ගේ රටක එහෙම දේවල් වෙන්නේ නෑ. එක පවුලකට මාසයක් කන්න පුළුවන්ලු ඩොලර් සීයකීන් විතර. පවුල් අපේ වගේ නෙමෙයි. එක ගෙදරක ළමයි ගොඩාක්. අර  මීඩියා වල හම ගහන අප්රිකාවේ බඩවල් වේලිච්ච ඇඳුම් නැති ළමයින්ගේ ෆොටෝ වගේ තමයි අපි මේ ක්රීඩකයොන්ගෙ ගෙවල් වල මිනිසුන්ගෙ පින්තූර හෙමත් දැක්කේ. කටුක කතා ඇහුවම මට හිතුනේ ලංකාවේ මිනිසුන් කොයි තරම් වාසනාවන්තද කියලා

  අපි පොඩි කාලේ අදට වඩා මිනිසුන්ට කෑම බීම හිඟකම් තිබුනා. ඒත් කාටවත් බඩගින්නේ ඉන්නේ නැතිව මොනා හරි කන්න හොයාගන්න ගහ කොල අපේ ගම් වල ඕනේ තරම් තිබුනා. මට මතකයි අපේ ගෙදර වත්තේ දෙල් ගහේ ගෙඩි අපි කවදාවත් විකුණුවේ නෑ. ගමේ සමහර පවුල් දෙල් කාලෙට හැමදාම දෙල් කඩන් යනවා. කොස් කාලෙට කොස් කඩන් යනවා. එකම ගමක හිටපු අපිට අයට ආහාර ප්රශ්න තිබුනා කියලාවත් තේරුනේ නෑ.

     ඒත් ළමයිනුත් කාලේ අපි වාගෙම තවත් ළමයි අපිට අවබෝධ වුනෙත් නෑ. ඒක තමයි හැබෑව. අපිට අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ ලොකු මහත් වෙලාවත් තේරෙන්නේ නෑ. අපි ඔවුන්ගෙ මට්ටමට ගිහින් ඔවුන්ගේ පැත්තෙන් හිතන්නේ නෑ ළමා කාලවල කෙසේ වෙතත්. ( ඒකෙන් කියන්නේ අපිට අද වගේ සමාජ අවබෝධයක් වෙනකොට ලැබිලා තිබුනේ නෑ. සමහරවිට ඒක අපේ සමාජයෙන් ආව දෙයක් වෙන්න ඇති. මට මතකයි මට බත් කවන්න ගියාම අපේ අම්මා මට කවන්න හදාගත්ත ක්රම පවා තිබුනා. කුරුළු කටවල්,කුරුළු හොටවල් වගේ එක එක විකාර. කරලත් අපි කෑවේ හරියට අපේ අම්මලාට ඕනවට වගේ. ( අද ඉන්න ළමයින්ට වඩා නම් අපි හොඳයි කාලේ. හිටි ගමන් අවුරුදු දොලහක් වෙන අපේ අක්කගෙ පුතාටත් එයා තාම කවන්න ඕනේ. කන්න ගියාම කන කිසිම දෙයක් නෑලු.)

   එදා වගේම අදත් කෑම බීම අඩු මිනිස්සු ලෝකේ කොහෙත් ඉන්නවා. අපි නොදැක හිටියට සමහරවිට අපේ ඉස්සරහා ගෙදර අල්ලපු ගෙදර එහෙම නැත්නම් දන්න කියන කෙනෙක් මේ තත්වෙන් ඉන්න පුළුවන්. ඉතින් හොඳම දේ අපිට හැකි විදියට කෑම බෙදා හදාගෙන කන එක. කෑම අවම නාස්තිය වගේ පොඩි දෙයක් වුනත් හරි වටිනවා

       ලංකාවේ වුනත් දැන් ඉස්සර වගේ අනුන්ගෙ වතුවල කොස් කඩන්න, එළවළු කඩන්න යන්න තරම් මිනිස් සම්බන්දතා නෑ. ටවුන් වල නම් තාප්ප වලට එහායින් කිසිම බැඳීමක් නෑ. කාල වෙනස් වෙලා. සමාජ සම්බන්දකම් නැති වෙලා. අපි වගේ නිදහසෙන් එහෙ මෙහේ දුව පැන පැන පළතුරු කාපු, ගස් ගෙඩි කාපු සමාජයක් දැන් ලංකාවේ නෑ කියලා තේරෙන්නේ ලංකාවේ මිනිස්සු එක්ක කොහෙ හරි ගියාම. සමහරවිට ව්‍යාජත්වය රජයන මිනිස් සම්බන්දතා වැඩියි අපේ රටවල

   

   

   

 අද වෙනකොට කෑම කියන්නේ සාමාන්‍ය අයිතියක් කියලා කතා වෙනවා මෙහේ. ඇත්තෙන්ම ඒක හැමෝගෙම අයිතිවාසිකමක්. ඒක හින්දා අපි විසිකරන පොඩි කෑම එකක්, නාස්ති කරන පොඩි දෙයක් තව කෙනෙක්ගේ අයිතිවාසිකමක් නැති කිරීමක් කියලා මතක තියාගෙන කොස් කෑල්ලකින් උනත් පටන් ගත්තම හරි....
පසු සටහන.  

 මේ සටහන ලිව්වේ තිලකේ ගේ පෝස්ට් එක දාපු දවසට පහුවදා වගේ. එහෙමෙහෙ රවුම් ගහලා ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා දැකලා පෝස්ට් කරන්න හිතුනේ අද.

4 comments:

  1. කොහොමත් මචං බලෙන් ලියනවාට වඩා නොලියා ඉන්න එක හ‍ොදයි තමයි.............

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම මේ සටහන් බලෙන් ලියවුන ඒවා. කාලෙකට පස්සේ ලියන්න ආස හිතුනත් ලියන්න ඕනේ දේ එලියට එන්නේ නෑ. හරිම කෘතිමයි වගේ.
      ඔබම ස්තුතියි කුරුටු.

      Delete
  2. //ලංකාවේ වුනත් දැන් ඉස්සර වගේ අනුන්ගෙ වතුවල කොස් කඩන්න, එළවළු කඩන්න යන්න තරම් මිනිස් සම්බන්දතා නෑ. //
    මේකනම් සහතික ඇත්ත . දැන් ලොකු වරකා ගෙඩියක් හරි කොස් ගෙඩියක් හරි බෙදාගන්න කෙනෙක් නෑ .
    මේ කෑම ප්‍රශ්නේනම් ලියපු එක වටිනවා. මේ අපි ඉන්න කලාපෙත් හරියට කෑම නාස්ති කරනවා. ඒ වගේම ලංකාවේදී අඩු මුදලට ලබා ගන්න පුළුවන් හොඳ ගුණදායක් කෑම ගැන උනන්දුවක් නෑ. පොඩි මාළු, කොළ ජාති , කොස්, පොලොස් තියෙද්දී මිනිස්සු වැඩි වියදම් කෑම අමාරුවෙන් සල්ලිවලට ගන්නවා. තව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අමුමිරිස් පැලයක් ,ගස්ලබූ ගහක් නැති ගෙවල් ගම්වලත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. නාස්තිය වැඩි වෙන්න ඔය හේතුත් බලපානවා. අපි තනිවීම අස්සේ( පවුල් සංස්ථා කුඩා වීම නිසා) බහුතර නාස්තියක් වෙනවා. ඒත් එක්කම අද වෙනකොට මිනිස්සු කෑම කන්නේ ට්‍රෙන්ඩ් එකට. ( මේ මම වුනත්) පස්සේ පස්ස බිම ඇනගත්තමයි අපිට මතක් වෙන්නේ ඔක්කොම.
      ඒත් කෑම ගැන අපි කතා කරන්න ඕනේ නාස්තිය පිටු දකින්න විතරක්මත් නෙමෙයි. කෑම කියන්නේ මූලික අවශ්‍යතාවයක්. පෝශ්‍යදායි ආහාරවෙලක් ලබාගන්න එක හැමෝගේම අයිතිවාසිකමක්, ඒක ඩිවලොප් වෙන්න ඕනේ.
      මම දන්න තරමි ලංකාවේ බහුතරයක් අය එළවළු කන්නේ නෑ. විශේසයෙන්ම ළමා පරම්පරාව. එකක් අධික කෘමිනාශක භාවිතය හින්දා ළමයින්ට එළවළු දෙන්න දෙමාපියෝ බයයි. ඒත් ගම් වල වගේ මිනිස්සු ගමේ තියෙන එළවළු කොළ පළතුරු වෙනකොට අර කෘතීමව හදන එක එක නානාප්‍රාකාර කෑම වලට හුරුවීම. මේව ගැන දැනුවත්වීමක් නිසිපරිදි රජය විසින් කරන්න ඕනේ.

      Delete