එහෙන් මෙහෙන් කතා.... Memories


     
        මේ ඊයේ පෙරේදා දවසක අපේ ගෙදර එන ගමන්  බ්ලොග් යාළුවෙක් මට ගෙනත් දුන්නා ඇඟිලි විස්කෝතු පැකට් දෙකකුයි, සෝයා පැකට් එකකුයි තව අපේ ගෙදර දහදෙනෙක් ඉන්නවා වගේ කෑමයි. තව ඔය එක එක ඒවා තිබුනා. ඒවා කියන්න ඕනේ නෑනේ.

 ඒ ඇඟිළි විස්කෝතු කතාව ෆේස්බුක් එකේ ලියවුනා ටික දවසකට කලින්.  

 මේ මේ පැය භාගයකට විතර කලින් වුන සිදුවීමක්.
 
   අපේ ක්ලබ් එක හෙට හවසට වහනවා රෙනෝවේසන් එකකට.      පහට විතර ක්ලබ් එකට ගිහින් යාළුවෝ එක්ක ඕපදූප කියෝ කියෝ ඉඳලා ගෙදර ආවේ දහයට විතර කිට්ටු වෙලා. එනකොට මට පොඩි බඩගින්නක් තිබුනා. (අද දවල්ට අලියෙක් වගේ කාල කෑම වල ෆෝටෝ පෙන්නලා මල්ලිගෙන් බැනුම් අහලත් හිටියේ.)කොහොමහරි ගෙදර ඇවිත් කන්න දෙයක් හොයද්දි මට මතක් වුනා සුමානෙකටත් එහා දවසක ගෙනාපු නෝකෝල් අල වගයක් තියෙනවා කියලා. ඒකත් එලියට අරන් මම බත් හදන්න ගන්නකොට මතක් වුනා අර බ්ලොග් යාළුවා ගෙනත් දීපු සෝයා පැකට් එක.

 සෝයා එකත් හදලා කෑම කනකොට මට මතක් වුනා ඉස්සරලම මම සෝයා කාපු දවස. එවෙලේ මම හිටියේ යාළුවෙක් එක්ක චැට් එකක. එයාට ඒක කියද්දි එයා තමයි කිව්වේ නොස්ටැල්ජික් ගමේ කතා බ්ලොග් එකට ලියන්න කියලා.

 එහෙමයි මේ සටහන බ්ලොග් එකට එන්නේ.

මම මුලින්ම සෝයා මීට් කාපු දවස මීට අවුරුදු 35කටත් විතර එහා වුනාට මට හොඳට මතකයි. 

      අපේ ගමේ  ඉඳන් ටිකක් දුර ගියාම තමයි බඹරගල ආරණ්‍ය සේනාසනය තියෙන්නේ. මේ කියන පොඩිම කාලේ පළවෙනිම පාරට තමයි මම එහේ ගියෙත්. ඒ කාලේ එහේ තනිකරම කැලෑවක්. අලියෝ හෙමත් යන එන. ඒ මදිවට ඒ පන්සලේ හැමතැනම බඹරු. ඒක නිසා සාමාන්‍යෙන් පොඩි ළමයි එක්ක යන්නේ නෑ වෙන්න ඕනේ. කොහොමහරි එදා නම් අම්මලා අපිව එක්කන් ගියා. අපි ගියේ දානයක් දෙන්න. අද කාලේ වගේ ලොකු ලොකු චෙෆ් ලා ඇවිත් දානේ උයන්නේ නෑ ඉස්සර. ගමේ මිනිස්සු ඔක්කොම ගිහින් තමයි දානේ හදන්නේ. මතක විදියට එතන පන්සලේ හාමුදුරුවන්ට අමතරව කැලේ අස්සේ භාවනා කරපු ගිහියොන් හා පැවිද්දන් තමයි වැඩිපුර හිටියේ.

       පස්සේ කාලෙක මට මතකයි මම එහේ ගියා. එතකොට මතකයි එහේ කැළේ අස්සේ භාවනා කරනන් පොඩි පොඩි ගෙවල් තිබුනා. කැලේ සර්පයෝ, කොටියෝ හෙම හිටියා. මම නම් කොටියාව දැක්කේ නෑ. ඒත් ඒක පිළිගන්න පුළුවන් සාදක ඕනේ තරම් තිබුනා. පස්සේ කාලෙක ප්‍රේමදාස මහත්තයාගේ කාලේ අපේ දැන් ඉන්න සජිත් මහත්තයාලගේ ස්වර්ණමය යුගයේ එස් ටී එෆ් එකයි හමුදාවයි ගෙනල්ලා හතර පැත්තෙන්ම වට කරලා මහ ලොකු මෙහෙයුමක් කරලා හෙලිකොප්ටර් වලින් එහෙම බැහැල අර ලෙන් විහාරයේ තිබ්බ නිදන් ඔක්කොම ටික නම් අරන් ගියා. හාවෝ අල්ලන්න ආවම පඳුරටත් ගල් ගහනවා වගේ ගමේ හිටිය අහිංසක කොල්ලෝ සීයක් හමාරකුත් අල්ලන් ගියා. ඒ කොල්ලෝ ආයමත් ආවද කියන්න නම් දන්නේ නෑ.

      ඒ කාලේ එහේ මිනිස්සු විශ්වාස කරා ඔය කියන ආරණය පුරා අමුතු බලයකින් අර නිදන් හෙම ආරක්ශා කරනවා කියලා. මොකද ඒ කැලේ අස්සේ මිනිහෙකුට තියා සතෙකුටවත් ජීවත්වෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අලි විතරක් නෙමෙයි, කොටියා( මම හිතන්නේ දිවියා වෙන්න ඕනේ අපි මේ කොටියා කීවට) හා සර්පයෝ විතරක් නෙමෙයි ගල් ගුහාවල්, කැලෑව අස්සේ දඩ සයිස් එකේ දෙබර කූඩු තිබ්බේ. ඒත් ඒ භාවනා කරන එකම කෙනෙකුටවත් කරදරයක් වුනේ නෑ. මට මතකයි ඒ කාලේ කැලේ අස්සේ මිය ගියපු කාව හරි බලන්න ගිය අපේ අප්පච්චිලා හරි කවුරු හරි ඔය වගේ කතා කියනවා. ඒ හාමුදුරුවරුත් බොහොම කෙසඟ සිරුරු තිබුන භාවනායෝගීව හිටපු සියළු දේවල් අතහැරපු මිනිස්සු කියලා නම් මටත් විශ්වාසයි. ඔය අද වගේ නානසාරලා වගේ දහයකට ගහන සයිස් වල හාමුදුරුවරු කවුරුවත් එහේ හිටියේ නෑ.

      මොනවා වුනත් අපේ සජිත් මහත්තයා පැටියා කාලේ ඔය නිදන් ගන්න එනකොටනම් එක දෙවියෙක්වත් ඉඳලා තිබ්බේ නෑ.
 


     ඒ කතා වලින් වැඩක් නෑ. මට කියන්න වුනේ සෝයා මීට් කතාවනේ. ඔය පන්සලට මුලින්ම ගිය දවසේ දානෙට හදලා තිබුන කෑම එකක් තමයි සෝයා මීට්. ඒ කාලේ මස් හෙම හාමුදුරුවරු කන්න නැතිව ඇති. ඒකනේ ඒවා හදන්න ඇත්තේ. ඒත් අද වගේ ක්ෂණික ආහාර යුගයක් නොවුන මේ කියන කාලේ සෝයා මීට් කියන්නේ අපිට අමුතුම කෑමක්. මම හිතන්නේ ඒ වෙනකොට පරිප්පුවත් කාපු නැති අපිට කලින් ළමයි සෙට් එකත් මේ වගේ කෑම හඳුනන්නේ නෑ. කොහොමහරි එදා තමයි මම සෝයා මීට් කියන්නේ දිව්‍යමය ආහාරයක් කියලා දැනගත්තේ.
   
     අදටත් ඉඳලා හිටලා හරි ලංකාවට ගියාම සුපර්මාකට් එකකට ගිය ගමන් මම ගන්න කෑමක් තමයි සෝයා මීට්. මිරිස් නොකන මට හරියන කෑම හදන ගෙවල් ලේසියෙන් හොයාගන්නත් අමාරු හින්දා මම ගෙදර යනකොට නම් සෝයා අරන් යනවාමයි. ඒත් අපේ පොඩි අක්කා මට ඒවා හදලා දුන්නා කියලා මතකයක් නෑ. ඒ විතරක් නෙමෙයි මෙහෙත් ඔය අවුරුද්දකට සැරයක් හරි ඉන්දියන් කඩේකට ගියාමත් මම සෝයා මීට් ගේනවා. ලංකාවෙන් එනකොටත් බෑග් එකේ එකක් දෙකක් දාගෙන එනවා. අර ඒවයේ තියෙන කුඩු පැකට් එක පැත්තකට විසි කරලා මම මගේම රෙසිපි එකකට සෝයා හදනවා. ඊට පස්සේ අලි බබා වගේ අර අතීත මතක අස්සේ රවුම් ගගහා කනවා.

    මොනවා වුනත් මම සෝයා එක්ක ඒ තරම් ආදරේ අර මුලින්ම පන්සලේදි කාපු හින්දා කියලා මට හොඳටම විස්වාසයි.

 
 අවුරුදු ගානක් තිස්සේ ලංකාවට නොගිය මට දැන් ඉවසීම උපරිමයට ඇවිල්ලා ඉන්නේ. අර චෙෆෑකිව හෙම shoot කරන්න කොන්ත්‍රත්  දීලා තියෙන්නේ. ගමේ කෑමයි, බීච් ගැනයි, ගමේ විස්තරයි කියලා ඒවා අහලා මට නිවාඩු එන්න ඕනේ එකේ උපරිමයෙන්. 

 ඒ අස්සේ අපේ මල්ලිලා, මගේ යාළුවන්ට මාව මිස් කරවන්නත් ඕනේ හින්දා මාත් හිටු කියලා මේ දවස් වල food-porn . එතකොට අපේ මල්ලිගෙන් ටිකක් බැනුම් අහගන්නකොට මට හරි සතුටුයි. ඇයි උන්ටත් මාව මිස් වෙනවානේ ඒ කියන්නේ.

  ඒත් අර ඉස්සර වගේ රසට සෝයා හදන්න අම්මා ආයේ එන්නෙත් නෑ.

 
  මේ ඔක්කොම අස්සේ මගේ නොස්ටැල්ජික් මතක එක්ක මම පැයක් එක්ක ඇඬුවත් එක්ක මේ ලියන අස්සේ....
 
 මොනා කරන්නද ඉතින්....


( අද මම දන්න කියන බ්ලොග් සහෘදයෙකුගේ උපන් දිනයත් එක්ක. මම හිතන්නේ මට වඩා මගේ ගම ගැන දන්නෙත් ඔහු. ඉතින් ලස්සනට නොලිය වුනත් මේ පෝස්ට් එක ඔහුට dedicate කරනවා මම. ;)

 සුභ උපන්දිනයක්  ....    ....!!!!       Many Happy Returns.......!!!!!



2 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete