එහෙන් මෙහෙන් කතා.... අලුත් අවුරුද්ද


     

        එක පාරට 2016ත් ඈවිත්. 2015 කොහොමද ගෙවුනේ කියලා හිතාගන්නවත් කලින්. සමහර දේවල් තියෙනවනේ අපිට නොදැනිම ඉබේ වගේ වෙන. මේකත් එහෙම වෙන්න ඕනේ.  මොනවා වුනත් තවත් අවුරුද්දකින් මම වයසට ගියා කියලා හිත කියනවා. (වයසට යනවා කියන්නේ mature වෙන එක කියලයි මේ අපේ වර්ගයේ බොහොමයක් අය කියන්නේ නැතිව අපි කොහේ වයසට  යන්නද?


     2015 දිහා බැලුවම මගේ ජීවිතයේ බොහොම කේන්ද්‍රීය වසරක්. කරදර හිත් රිදීම්, නැතිවීම් හා අවුල් වියවුල් වලින් පිරුණ වසරක්. කොටින්ම නැතිවෙච්ච සමහර දේවල් වල වටිනාකම තියා ඒවා ගැන තාමත් හිතාගන්නවත් බෑ. ඒ කියන්නේ මුදල් අගය නෙමෙයි. ඒවා ගොඩාක් බැඳුනේ මගේ රාජකාරි ජීවිතය එක්ක. මොන දේ අවුල් කරගත්තත්  රස්සාව දේවකාරියක් වුන මට ඒක සෑහෙන්න බලපෑමක් වුනා.

 ඒ මොනව වුනත් කඩා වැටීම් දාහක් අස්සේ වුනත් ආපහු පොලවේ ජීවත් වෙන්න තිබුන ශක්තිය ගැන මටම පුදුමයි. මගේ අස්සේ ලොකු අවුල් තිබ්බට මම, මාව ගැන සතුටු වෙන එක තැනක් තමයි ඒ. කොහෙන් ගියත් මාව අන්තිමට හොයාගන්න එක. සමහර අවස්ථාවන් තිබුන ජීවිතය එපා වුන තරම්. ඒ නැති වුන දේවල් හින්දා නෙමෙයි. අපි වටේ ඉන්න යාළුවෝ හිත මිත්‍රයෝ  සම්බන්ද බැඳීම් වලදී. කොටින්ම අපේ යාළුවෝ කියන්නේ අපි ඕනෙම දේකදි පෙනී හිටින මිනිස්සු. ඒත් අපිට අපේ යාළුවෝ කොහොමද කියන එක යමක් වෙනකම් තේරෙන්නේ නෑ. අපි කොයිතරම් වයස ගියත් අත්දැකීම් තිබුනත් කොයි තරම් පාඩම් ඉගෙනගත්තත් ඒ වගේ දේවල් වලට මුහුණ දෙන එක නතර වෙන්නෙත් නෑ. ඒකේ අවුල මගේ මිසක් වෙන කාගෙවත් නෙමෙයි.  අපිට අවශ්‍යතාවයක් වුනාම අපි එක්ක හිටගන්න පුළුවන් යාළුවෝ කීයක් අපි එක්ක ඉන්නවද කියන එක වගේ දේවල් තදින් තේරුම් ගන්න වුනා. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවුනත් අපිටත් අනෙකාගේ ආදරය, උදව්, හිතවත්කම් උවමනා වෙනවා. ඒත් මට නම් එහෙම මට කියන්න යාළුවෝ ඉන්නවද කියන්න, මිනිස්සු ඉන්නවද කියන එක ගැන ආපහු සියදාස් වාරයක් හිතන්න උනන්දු කලා. ඒත් හැමදේම වෙන්නේ හොඳටනේ කියලා හිත හදාගන්න මට පුළුවන්. කොටින්ම කවුරු නැතත් මට මම ඉන්නවා කියන එකත් ඒ වගේම මම වෙනුවෙන් ඕනෙම වෙලාවක එකට හිටගන්න පුළුවන් කීපදෙනෙක් හරි ඉන්න එක ගැන මට ලොකු අවබෝධයක් දැනුනා. කොටින්ම අර හිතවත්කම් පෙන්වන යාළුවන්ට වඩා ඒ එක්කෙනා දෙන්නා දාස් ගුණයකින් වටිනවා.... (කොටින්ම කිසිදෙයක් නොකලත් අනෙකාගේ කැපවීම හිතවත්කමවත් තේරුම් ගන්න යාළුවෝ )

       අපි අනෙකාට ලංවෙන තරමට ආදරය කරන තරමට බැඳීම් වැඩිවෙන තරමට වේදනාවත් වැඩිනේ. ඉතින් එහෙම ඉදිරියට හරි නොවෙන්න තීරණය කලා. ( අපේ මල්ලි නම් කියන්නේ ඔයා ඕක කී පාරක් කියලා තියෙනවද හලෝ ඒත් හැමදාම එකමනේ කියලා.)  ඇත්ත ඒක තමයි හැමදාම වෙන්නේ හා වුනේ. ඒත් අන්තිමට කාත් එක්කවත් කිසිම තරහක් මගේ හිතේ ඉතිරි නොවෙන්නෙත් ඒ හින්දමයි කියලා මම දන්නවා. ඕනේවට වඩා ප්‍රෙටෙන්ඩ් වෙන්න ගිහින් බලෙන් ජීවිතය අවුල් කරගන්නවා කියන එක මට අමුතු දෙයක් නෙමෙයිනේ. ;)

 
   කොහොමත් සතුට කියන එක සාපෙක්ෂයිනේ. අනික හැමදෙයින්ම අපිට සතුට විතරක් ලැබෙන්න ඕන වෙන එකත් මහ විහිළුවක්නේ. ඒක හින්දා මේ දේවල් මහා ලොකු අවුල් දේවලුත් නෙමෙයි. කෙස් ටික ටික සුදු වෙන්න ගන්න හින්දා මැචුව වෙන කාලේ කියලා මම හිතාගන්නවා... ;)

    2016 කියලා මට නම් අලුතෙන් කියන්න තරම් මහලොකු බලාපොරොත්තුවත් වෙන මොනාවත් නෑ. හිතේ සතුටින් ජීවත් වෙන්න ලැබුනම ඒ ඇති. කලින් අවුරුද්දට වඩා වැඩියෙන් වැඩ කරන්න ලැබිලා,අසනීප වලින් තොරව, අතේ කීයක් හරි වැඩිපුර ගැවසෙන අවුරුද්ද ක් වුනා නම් තවත් ලේසියි. කොහොමත් මගේ අවශ්‍යතාවයන් වලට මුදල් තිබුනම හොඳටම ඇති. යාළුකම් නොදන්න  මිනිසුන්ගේ ප්‍රශ්නවලට ශතයක්වත් වියදම් කරන්න නොලැබෙන අවුරුද්දක් වෙනවා නම් තවත් හොඳයි.

    මෙහෙම කීවට මට කිසිම නෙගටිව් ෆීලින් එකකුත් නෑ. මම දැන් ටික ටික මට අනුව  සත්‍යවබෝදයට යමින් සිටින හින්දා වෙන්නැති... හික්ස්... (කෙස් පැහෙන කාලේ හා හා...  )

20 comments: