එහෙන් මෙහෙන් කතා... කෑම බීම + ජොගින්

         





           කාලෙකට පස්සේ මම ආයේ ජොගින් යන්න පටන්ගත්තා.


          හරියටම කිව්වොත් පහුගිය ජූලි මාසෙන් පස්සේ. උදේටත් හවසටත් හැමදාම ජිම් යන්නේ කවදද කිය කියා අහන මනුස්සෙක් ගෙදර හිටියාට මට වගේ වගක් තිබ්බේ නෑ. ඒ හැමවෙලාවකම යන්න ඕනේ කියලා හිතුවා විතරයි. අපි ඔය කවුරුත් කීවට සැලෙන්නේ නෑ අල බෝලේ වගේ ඉන්නවා මිසක්.

    ඒත් මීට සති දෙකකට කලින් ඉරිදා දවසක උදේ නමයට  කොන්සල්ටේසන් එකක් දාගත්තා හින්දා එලියට ගියා. ඔන්න එක පාරට මට විස්ඩම් පහල වුනා. වෙනදා මරලා එලියට දැම්මත් කුක්කුබෝලේ ගෙදර ඉන්න දවසට තනියම එලියට නොයන මම මෙන්න ගෙදර ආවා ඇඳුම් මාරු කරගත්තා කුක්කුබෝලේ ට කීවා මම ජොගින් යනවා කියලා. මම එලියේ. යමින් ගමන් යාළුවෙකුටත් කෝල් කලා එනවා නම් වරෙන් මම පාක් එකේ කියලා. (කොටින්ම කුක්කුබෝලේ ඒ ඇහුනේ මොකක්ද කියලාවත් විස්වාස කරන්න බැරි තරමට පුදුම වෙලා බලන් හිටියා මම දැක්කා.)

     ඇත්තටම කීවොත් මට තියෙන්නේ මහ අලස ජීවිතයක්. ඒ කියන්නේ ඔෆීස් එකෙන් එහාට මම කරන කිසිම දෙයක් නෑ. ඉස්සර මම හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න කාලේ අඩුම තරමේ දවසට කිලෝ මීටර් දහයක් පහලොවක් සමහරවෙලාවට විස්සක් වුනත් ඇවිදිනවා. හරිම ඇක්ටිව්. ඒ වගේම දහයකට ගහන්න වගේ ශක්තියකුත් තිබුනා. (දැනටත් එහෙම තමයි හැබැයි කටින් ;) )




 

 එක දිගට නොකලට මට හිතුනාම මම ජොගින් යනවා. කම්මැලි හිතුනාම නෑ. ඉතින් අහන්න දෙයක්ද අල බෝලේ  වෙන එක. ඒ වුනාට මගේ යාළුවෝ මට බනින්නේ ඉස්සර නම් අපි කොයිතරම් අරහේ මෙහේ ගියාද කොච්චර නම් සතුටින් හිටියද කියලා.  මේ බොහෝ දේවල් යාළුවෝ කියද්දි  ඉතින් සද්ද නැතිව ඉන්නවා. ඇත්ත ඉස්සර මම ගෙදර හිටියේ කලාතුරකින්.  දැන් නම් ගෙදරින් ඔෆීස් එකට යන්නෙත් අත්‍යාවශ්යම වුනොත් විතරයි. මගෙ රාජකාරියන් බොහොමයක් මට ඔෆීස් නොගිහින් කරන්න පුළුවන් නෙව හොඳ වෙලාවට.

ඉතින් දැන් උපතින්ම කම්මැලි වෙලා. ඉතින් අහන්නත් දෙයක්ද මම අනිත් එවුන්ගෙන් බැනුම් අහනවා කියන එක.

   කොහොමවුනත් ශරීරයට අවශ්‍ය ව්‍යායාම් වල යෙදෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අපිට අඩු ගානේ ටිකක් හරි යහතින් කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මම දන්න මාමා කෙනෙක් එහෙම කීවට එයා මගේ පොඩි කාලේ ඉඳන් මගේ පංතියේ ගුරුවරයා.හිටියෙත් අපේ ගෙදරමයි. දැන් නම් ලොකු ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්. අන්තිමට දැක්කෙත් අවුරුදු දහයකට එහා. එයාට ඩයබෙටික් ආවම එයා ඒක සම්පූර්ණයෙන්ම පාලණය කරලා තිබුනේ ස්පෝට්ස් වලින්. මෙට්ෆෝමින්/ඉන්සියුලීන් වලට වඩා ඒක කොයිතරම් නම් හොඳයිද? අනික කෑම පාලනය කිරීම. මේ බොහෝ දේවල් කරන්න අමාරු නෑ ඇත්තෙන්ම ඕන උවමනාව විතරමයි. ඒත් කම්මැලිකම ජාන වලින් ම එන බොහොමයක් උවමනාවෙන් මේ දේවල් මගහරිනවා.

 
       මම ඉඳලා හිටලා ඔය මෙහේ මෙඩිකල් කන්සල්ටන්ලා එක්ක සාකච්චා වලට යනවා නෙව. ඒවයේ එයාලා නිතරම මෙන්සන් කරන දෙයක් තමයි ලංකාව වගේ රටවල මිනිස්සු මෙහේ සීයට අසූවකටත් වැඩි ප්‍රමාණයක් ඩයබෙටික් වලින් පෙලෙනවා කියන එක. ඒකට ප්‍රධානම බලපෑම වෙන්නේ බත් කන එක කියලා. ඒ විතරක් නෙමෙයි ලංකාවේදි කවදාවත් නොකාපු කිලෝ ගණන් තියෙන මේදය සහිත කෑම කන එක. කොටින්ම මමත් ඒක පිළිගන්නවා. ලංකාවේ බහුතරයක් මෙහෙදි කන්නෙත් බත්. ඊගාවට චීස් වගේ ෆැට් කෑම. එහෙම කරලා කිසිම එක්සසයිස් එකක් කරන්නේ නෑ. ඉතින් අහන්න දෙයක්යැ... ඒ විතරක් නම් කමක් නෑ හැමෝටම බයි පාස් කරලා. ඉතින් මේ කියන මිනිස්සුම මට නිතර කෝල් කරලා අහන දෙයක් තමයි මිස් අපිට මෙඩිකල් කන්ඩෙම් කරලා පෙන්සන් එක හදාගන්න බැරිද කියලා. ඇයි මොකක්ද ඔයාගේ අසනීපේ කියලා ඇහුවම හරියට ලොකු නම්බුකාර විදියට කියන්නේ බයිපාස් දෙකක් කලා තුනක් කලා ඩයබෙටික් අරවා මේවා. මේ බොහොම අය අවුරුදු පනහ හැටේ බොහොම තරුණ අය. ලංකාවෙදි ඒක වයසක් වුනාට මෙහේ සාමාන්යයෙන් අවුරුදු අසූවක් වෙනකනුත් බොහොම නීරොගීව ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්නේ.

ඒ වෙලාවට මම නම් බනිනවා. එකක්
මේ මිනිස්සු තමන්ට ඕනේ ලෙඩක් හදාගෙන මෙඩිකල් කන්ඩෙම් කරගන ඒකෙනුත් නිකම් ඉඳන් සල්ලි හොයන්න හදන එක ගැන. අනික තමන්ට තියෙන අසනීපය ගැන වගකීමක් නැතිකම ගැන. මෙහෙන් ඔය කියන හැම ලෙඩකටම බෙහෙත් දෙන්නේ නිකම්. රජය සෞඛ්යය ගැන දරන වියදම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අනික ඩයබෙටික්ස් වලට බයිපාස් එකකට මෙඩිකල් කන්ඩෙම් කරන්නත් බෑ. මොකද ඒවා මේ වෙද්දි සාමාන්‍ය දේවල්.  ඒ වුනාට ඒ වෙලාවට අපේ මිනිස්සු ගැන ඇත්තෙන්ම ලොකු කණගාටුවක් දැනෙනවා. අපේ මිනිස්සු මේ තරම්ම කෙයාලස් ඇයි කියලා.

           මම මෙහෙම බන කීවට මාත් කම්මැලියි තමයි. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒත්      මගේ ජීවිතය එයිට හාත්පසින්ම වෙනස්. විශේසයෙන්ම මගේ කෑම බීමේ පිළිවෙල. මොනව නැතත් මම ඒක හරි පිළිවෙලට කරනවා. ඇත්තටම මගේ අසනීප තත්වයන් එක්ක මම මේ තරමට යහතින් ඉන්නේ මගේ ඒ වගේ බොහොමයක් පුරුදු හින්දා. 
            මම සතියකට දවසක් හෝ දෙකක් එලියෙන් කනවා. අනිත් හැමවෙලාවටම කන්නේ ගෙදර මම හදන කෑම. එළවළු කඩේට යන්නේ මම, පොළට යන්නේ මම, මාළු කඩේට යන්නේ මම, මස් කඩේට යන්නේ මම. කොටින්ම මම මිළට ගන්න හැමදේකම කොලිටි එක ගැන මම බොහොම සැළකිළිමත් වෙනවා. මාව දන්න හැමෝම කවදාවත් මට බොරු කියලා බඩු දෙන්නෙත් නෑ. විසේසයෙන්ම අද කාලේ එළවළු පළතුරු කනකොට ඒ ගැන කොයිතරම් ප්‍රවේසම් වෙන්න ඕනේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.  අපෙ යාළුවෝ හැමෝම හිතන්නේ අපේ ගෙදර ඕනේ තරම් පාන්, කේක්, බිස්කට් වර්ග තියෙනවා කියලා. කුක්කුබෝලේගේ රස්සාව ඒකනේ. ඒත් කවදවත් පාන් ගෙදර ගේන්නේ නෑ. ඒ ඉන්ඩස්ට්‍රියල් පාන් කේක් අරවා මේව හදන්න දාන දේවල් ගැන අවබෝදයක් එයාට තියෙන හින්දා. මේ වගේ හොඳ පුරුදු පුරුදු වෙන්න මහ ලොකු කාලයක් වියදමක් යන්නේ නෑ. එකම දේ අවඹෝදය විතරයි. 
  
   අපිට ඕනේ තරම් පහසුකම් තියෙනවා ස්පෝට්ස් කරන්න. එලිමහන් පාක් වල ඔපෙන් ජිම් තියෙනවා. සංකීර්ණ මෙට්‍රොපොලිටන් එකක ඉන්න මට විනාඩි පහකින් කුරුල්ලො ලේන්නු, හාවෝ, ඉත්තෑවෝ හා එකී නොකී සත්තු විතරක් නෙමෙයි හෙන දඩාර සයිස් ඉබ්බෝ, කිලෝ හතරෙ පාහේ මාළු ඉන්න  වැවක් එහෙම තියෙන පාක් තියෙනවා. ඒවයේ නැසනල් ටීම් වල කෝච්ස්ලා, ප්ලේයර්ස්ලා  ඇවිල්ල ස්පෝට්ස් කරනවා. ඕනේ නම් අපිටත් ජොයින් වෙන්න පුළුවන්... ඒ වුනාට අපිට කොහෙද උවමනාවක්... අපි උපතින්ම අලසයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මොටිවේට් වෙන්න ඕනේ තරම් හේතු, බුද්ධිය ඔය හැම මඟුලක්ම තිබ්බට උවමනාව බිංදුවයි නම් මොනා කරන්නද ඉතින් අල බෝලේ වෙනවා මිසක්. 

මට ලැජ්ජයි තමයි ඒ වුනාට ඉතින් මොකටද බොරු කියන්නේ..?



(මේ ලියන මොහොතේත් ක්ලයන් කෙනෙක් ඇවිත් එයාගේ තරුණ වයිෆ්ට බ්‍රේන් කැන්සර් එකක් කියලාත් ස්ප්‍රේඩ් වෙලා කියලාත් කිව්වා. කොටින්ම මට දැන් මාවත් මතක නෑ ඒක ඇහුවම... ඉතින් අමුතු කතා මොකටද අපි කන බොන දේවල් ගැන මීට වඩා දේවල් හිතන්න ඕන කියන එක ගැන. )

0 comments: