එහෙන් මෙහෙන් කතා... ජීවිතේ... (නොලියාම බැරි නිසා )

     
   
නොලියාම බැරි නිසා.....

      වේදනාව යනු කුමක්දැයි කිසි දිනක මා හරියටම වටහා ගෙන නැතැයි සිතේ. ඒත් මා ආදරය විස්වාස කරන්නෙක් නිසා හැම දෙයම වේදනාව සමඟින් ආදරය එක්ක මුසු කොට දරා ගන්නට උත්සාහ කරන්නෙමි. ඒත් එය කොයිතරම් දුරට ප්‍රථි විසඳුමක් දැයි වැටහෙන්නේ මෙවන් අවස්ථාවලදීය.

  ඊයේ හවස හත හමාරට විතර කෝල් එකක් ආවා. මම සතියේ අන්තිමට ෆෝන් ආන්ස්වර් නොකරන කෙනෙක් තරමට පත්වෙලා. අනවශ්‍ය කරදර, රාජකාරි වෙලාවන් නොවෙන වෙලාවට වුනත් එන තේරුමක් නැති ඇමතුම් හින්දත්, පසුගිය සතියේ අහම්බෙන් සිදුවුන දුර ගමනක ප්‍රථිපලයක් විදියට තවම ඇඟ රිදෙන එක නිදිමත අඩු නැතිකම වගේ හින්දා කොහොමටත් හිටියේ අලස සුවය විඳිමින්. කෝටියක් ඩෙඩ් ලයින්ස් තිබ්බත් ක්ලයන් කෝල්ස් තිබ්බත් මම හිටියේ මට නෙමෙයි වගේ.

  ඊයේ අර ආව ඇමතුමෙන් කියවුනේ මගේ ක්ලයන් කෙනෙක්ගේ වයිෆ් එයාගේ අසනීප තත්ත්වයක් නිසා කෝමා සිටුවේසන් එකක  හොස්පිටලයිස් කරලා කියලා.  මම ඔහුව දන්නේ 2011 වගේ ඉඳන්. ඒ එක්කම ඔවුන්ගේ පවුලේ විසා කටයුතු කල නිසා සෑහෙන තරමක් විස්තරත් දැනගෙන හිටියා. මෙතුවක් කාලයක් දිගින් දිගටම ඔවුන්ගේ වඩ කරාට එහෙමට ලොකු ඉනර් ෆීලින් එකක් තිබ්බේ නෑ. කොටින්ම කෙනෙක් එක්ක එහෙම වෙන්න මම දන් බයයි. ඊට පස්සේ බිම්බෝම්බ වෙන නිසා.

        පෙබරවාරි අට වෙනිදා ඔහු හදිසියෙන් මට කෝල් කලා. මාවහම්බ වෙන්න ඕන කීවා. එදා මම කාර්ගෝ එකක් යවන්න තිබුන හින්දා ගෙදරත් හිටියේ. මම ගෙදර ඉන්නවා එන්න කියලා කිව්වේ කොහොමටත් කරදරයක් නැති බොහොම අහිංසක මනුස්සෙක් හින්දා.

      එදා තමයි බෝම්බේ පත්තුවුනේ. ඔහුගේ තරුණ බිරිඳ කැන්සර් එකක් ඩයනෝස් කරලා. කියපු යම් යම් දේවල් වලින් තත්වය බයානක කම තේරුන හින්දම මම මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගේන්නත් ඒකට අවශ්‍ය අවශ්‍ය දුරකතන ඇමතුම් දෙන්නත්,ළමයින්ව දැනුවත් කරන්නත් කියලා ඒ සතියේම සෙනසුරාදා ( ඔව් මට මගේ ප්‍රේමවන්තයා එක්ක ගෙවන්න තියෙන එකම දවස ) එහේ ගියා. ගියාමයි තත්වේ තේරුනේ. මෙඩිකල් රිපෝට්ස් කියවලා මම උඩ ගියා. කොටින්ම වීදුරුවට දාගත්ත වයින් එකවත් බීවේ නෑ. ගෙදර හිටපු කොල්ලෝ දෙන්නත් කාමර අස්සේ හැංගිලා හිටපු හින්දා උනටත් බැනලා මම ආවා. ඒ ඇවිදිනුත් මම හරි කළකිරීමෙන් හිටියේ ලංකාවේ ළමයින් දෙමාපියන් අතර තියෙන දුරස්ථ සම්බන්දය දැකලා. වගකීමක් ගන්න බැරිකම ගැන හිතලා.

  ඉන් එහාට දේවල් මම කලා. හැමදේම බොහොම ඉක්මණින්. යන යන හැමතැනකම ප්‍රයොරිටි ලිස්ට්  එකට එයා ආවා. ඒක තමයි අපි දකින මනුස්සකම ආදරය. කෙනෙක්ගේ දුක අපි හැමෝටම අපේම දුක වෙන එක. අනේ කියවෙන එක.

   ඊයේ හවස ඔක්කොම කඩා බිඳගෙන මම ටැක්සි එකක් කෝල් කරන් හොස්පිටල් එකට ගියා.  රෑක එහෙම ගමනක් යන එක වගේ දේවල් මම නොකරන තරම්. කොටින්ම ප්‍රේමවන්තයා හිටියෙත් බය වෙලා. ඒ වගේ වෙලාවට මට පිහිටට එන්නේ ඒමි. එයාට කෝල් කලාමත් එයාගේ කාර් එක යාළුවෙකුට දීලා එයා කීවා රෑ වෙලා මාව ගන්න හොස්පිටල් එකට එන්නම්  යන්න කියලා.

   මම කෙනෙක් මිය යන මොහොතක, vegetative state එකක ඉන්නවා දැකලා නෑ. සමහරවිට මම බොහෝ දේවල් නොවිඳපු නොදැකපු කෙනෙක් වෙන්න ඇති. එමර්ජන්සි යුනිට් එකක තත්වය අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. අර මම අස්සේ ඉන්න ශක්තිමත් ගැහැණිය කොහේ ගියාද දන්නේ නෑ. කරන්න ඕනේ දේවල් වෙන්න ඕනේ දේවල් මගේ ක්ලයන්ට කීවට මම හිටියේ අතරමං වෙලා විතරක්ම නෙමෙයි මට මාව කියන පුද්ගලයාත් නැති වෙලා.  පැය හතරක් පහක් ගෙවලා ගෙදර ආවේ බොහොම අවුලෙන් හිස්කමෙන්. කොටින්ම නිදාගත්තට, අවදි වුනාට මගේ හිත තාමත් unconscious.

     සමහරවිට හැමදේම දරාගන්න, බැඳීම් කියන්නේ වේදනාවක් කියලා දන්න මට වුනත් තව නොදන්න විඳින්න බලාපොරොත්තු නැති හිත හදාගන්න බැරි කොයි තරම් දේවල් තියෙනවාද කියලා හිතෙද්දිත් දැනෙන්නේ තවත් හිස්කමක්... මගේ අස්සේම තනිවීමක්, අසරණවීමක්...

1 comment:

  1. ඔහ්.. ඇයට ඉක්මන් සුවය පතන්න බෑනේ (මට තේරුන විදියට). ඔබට ඔය තිගස්ස්මෙන් ඉක්මනට මිදෙන්න හැකිවේවායි පතනවා. සංවේදී වැඩි උනාමත් කරදරයි තමයි.

    ReplyDelete