All saints!

අද ඕල් සේන්ට්ස්.




       අපිට නිවාඩුයි. (ඔව් කාලෙකට පස්සේ අද ගෙදරත් හිටියා.) වෙනදාට මෙහෙම එක දිගට නිවාඩු ලැබෙද්දි මගේ නැට්ටවත් අල්ලන්න බෑ ඒත් දරු පවුල්කාරයෝ වුනාම එහෙම බෑ නෙව.

( මට නිවාඩු තිබුනට බෙටහාෆ් ට මන්ඩේ නිවාඩු! )

උදේ කෝපි බොන්න එලියට ගිහින් පල්ලියට යන්න හිතාගෙන හිටියේ. ඔව් ඕල් සේන්ට්ස් වලටවත් පල්ලියට නොයන එකම කතෝලිකයා මම වෙන්න ඕනේ. මේ දවස්වල තියෙන ප්‍රශ්න එක්ක එහෙම කරන්නම දැඩි උවමනාවක් තිබ්බා. කුක්කුබෝලේ එක්ක මාත් ආපහු ගෙදර ඇවිත් ආයෙම එලියට යනකොටයි මතක් වුනේ අද රෑට චිකන් විත් පෙපරෝනි හදලා දෙනවා කියලා කේබීට පොරොන්දු වුනා කියලා ඒ ගමන් සුපර්මාකට් වහන්න ඉස්සෙල්ලා ඒකට ගියා. එතකොට ෆිශ් ඩීපාට්මන්ට් කොල්ලා එවෙලේ හදන ෆ්‍රයිඩ් කලමාරි කෑල්ලක් දුන්නා. රහ බලන්න. ඒ ගමනුයි මට මතක් වුනේ අපේ මල්ලියි මායි කොළඹදි කාපු තරමක් කෑවේ කලමාරි ඩීෆ් ෆ්‍රයි!
එයාටත් ටෙක්ස්ට් එකක් දාලා මම කලමාරිත් අරන් ගෙදර ආවා.
ඒක නිවෙන්න කලින් කන්න උවමනාත් වුනා. එවෙලෙත් ලොකු අවුලක හිටියේ මගේ ඩොනේසන් එක ඒ වෙනකනුත් කරන්න බැරිවීම ගැන. (ඔව් දන්නදා ඉඳන් මම දුප්පත් අයට කෑම අරන් දෙනවා. මළවුන්ගේ මාසෙදි ඒක අනීවාර්යයි. ) ඒ ගමන පල්ලියට යනකොට පල්ලියත් වහලා. එයිට පස්සේ කිලෝ මීටර් තුනක් විතර පාරේ හිඟන මනුස්සයයින්ව හෙව්වා. වෙනදාට අඟලින් අඟලට ඉන්න එවුන් අද එකෙක්වත් නෑ. අද හොඳටම වහිනවයි සීතලයි දවස පුරාම.

ගෙදර ආවේ කේබී ගෙදර එන වෙලාවට තෙමීගෙන. එහෙමම ඇවිත් බ්ලැක් ටී එකක් හදාගෙන කප් කේක් එකකුත් එක්ක ඇඳට ගියා. (ඔව් සතියෙම ගෙදර ඉන්න බැරිවුනාම ගෙදර ඉන්න දවසට ඔක්කොම කනවා.

ආයේ උයන්න ෆ්‍රිජ් එක අරිනකොටයි දැක්කේ ගිය ඉරිදා ඇරපු අන්නාසි බාගේ තවම එහෙමමයි කියලා. ඒ ඒමිගේ කොටස. එයාත් වැස්සයි ලෙඩත් වගේයි නිසා එන්නේ නෑ එයාගේ කොටස අපිටම කන්න කීවා. (නෑ ඉතින් ඒක එයාම කීවා මිසක් නැත්නම් මම ඕක තනියම කන්නේ නෑ. ඉබ්බා දියේ දැම්මම ඈන්නැවේ කීවලුනේ! )

මම පෝල්ලෝ අයි පෙපරෝනි හැදුවා. කුක්කුබෝලේ අද රෑට ගෙදර එන්නෙත් ඒ සිහියෙන්. එච්චරට ආසයි. 😋 අම්මා මම ලංකාවට ගියාම අරන් දීපු හාල්මැස්සෝ තෙල් දැම්මා ගෝවත් එක්ක. (ඔව් අම්මා සැරෙන් සැරේට මටයි ඒමිටයි වෙන වෙනමම කරවල උම්මලකඩ ලුණු මිරිස් එවනවා. ඒවා අතරමගදි හැමදාම අතුරුදහන් වෙනවා. ඒමි අම්මගේ හිත හදන්න ඔව් අම්මේ හම්බ වුනා මගේ කොටසත් දුන්නා කියනවලු. මම ඉතින් අති විශේස හේතුවක් නැතිව අම්මාට කතාකරන්නේ නෑනේ. ඉතින් අම්මා හිතන් ඉන්නේ ඒව ඇත්තටම මට හම්බ වෙනවා කියලා.

චිකන් හදන්න ඇරපු chardonnay එකෙන් පොඩි වීදුරුවකුත් එක්ක අන්නාසි භාගෙම කෑවා. දැන් ඉතින් මේ අතීත ආවර්ජනේ. ඔව් කාලෙකට පස්සේ මළවුන්ගේ දාකමයි ආයේ බ්ලොග් මතක් වුනෙත්!

ඔව් හැමදාම මළවුන්ගේ මාසෙට මට අවුල්!

0 comments:

Nereo....

මේ කතාව නොලියා ඉන්න බෑ.

 නෙරේයෝ ( ඔහු ජීවත්වෙනකාලේ මම ඒ නම දැනන් හිටියේ නෑ. )

මම දන්නේ දැන් අවුරුදු පහ හයකටත් වඩා කාලයක් තිස්සේ. ඔහු අනිත් ක්ලෝචඩ්ස්ලාට වඩා බොහෝ වෙනස් හින්දා මම ඔහු ඉන්න ඉසව්ව හැමදාම බලාගෙන යනවා. වෙනස තමයි ඔහු හැමදාම ඔහුගේ එලිමහන් වාසස්ථානයේ දකින හැමවෙලේම  පොතක් කියවන එක. ඒක කොයිතරම් ප්‍රියජනකයිද කියන එක ඒ අත්දැකීම විඳලා නැති කෙනෙකුට තේරේවිද මන්දා!

ඔව් නෙරේයෝ අනිත් ක්ලෝචඩ්ස්ලා වගේ බය වෙන්න ඕනේ ඇග්‍රෙසිව් පුද්ගලයෙක්ගේ හැඩහුරුකමක් තිබුනේම නෑ. කවදාවත් කාගෙන්වත් සල්ලි ඉල්ලනවා මම දැකල තිබ්බේත් නෑ.

 නිකම් හිතන්නකෝ පාරේ ඉන්න හිඟන්නෙක් පොත් කියවන්නෙක් කියලා. ඔව් මහ රෑ සීතලේ, රශ්නේ, හිම වැටෙද්දි රැයක් දවාලක් නැතිව නෙරේයෝ පාරේ පොත් කියෙව්වා. රෝම් සිටි සෙන්ටර් එකේ එහෙම දෙයක් දකින එක එක අතකින් පුදුමයක්නේ! මම නොදන්න මිනිසුන්ට බොහෝ බය කෙනෙක්. ඒක හින්දම මම පාරේදි ශොක්වෙලා එකපාර අතරමං වෙන අවස්ථා වැඩියි. විසේසයෙන්ම පාරේ අඟලින් අඟලට ඉන්න බලෙන් හිඟ කන අයගෙන් බේරෙන එක මගේ ජීවිතේ හාඩ් ටැස්ක් එකක්. ඒ අයට මම බය හින්දා මම ළඟට යන්නේ නෑ. අනික කීයක්වත් දෙන්නේ නෑ ඒ වෙනුවට මම කරන්නේ කොහේ හරි කෑම කඩේකට, බාර් එකකට කෑම වල කෝපි වල බිල් එක ගෙවල අර මනුස්සයාට ඈත ඉඳන් ඒ තැනට ගිහින් කෑම කන්න කියන එක. ඒක මට වියදම් අධික වෙන වැඩක් වුනත් ඒ තමයි මම පුරුදු වෙලා තියෙන හැටි. ඒ මිනිස්සුත් ඒ වෙලාවට  බලනවා ඇයි ඒ වගේ දේවල් වෙනවා අසාමාණ්ය නිසා. හැමෝම කරන්නේ මාරු කාසියක් දාලා යන එකනේ. ඒත් මම අදහන දෙයක් තමයි සල්ලි දීමෙන් වෙන්නේ මම බොරුවකට අහුවෙනවා කියන එකත් ඒ මිනිසුන්ගේ අවිචාර බිස්නස්වලට මම සම්බන්ද වෙන්නේ නෑ කියන එකත්.

 නෙරේයෝ ට එහෙම සලකන්න මට වුනේ නෑ. ඒ මනුස්සයා හිඟමන් නොයපු මනුස්සෙක් හින්දාත් මම කවදාවත් ඔහු ළඟට යන්න බය වෙච්ච හින්දාත්. ඒක ගැන මට මේ වෙද්දි හරිම ලොකු දුකක් ශෝකයක් තියෙනවා. ඒක මාව පිපිරෙන්න තරම් ලොකු තැනක්! හිස්කමක්!

ගිය ඉරිදා පාන්දර නෙරේයෝව පාරේ යටකරලා වාහනයක් පැනල ගිහින්! නිව්ස් වල ඒක කියනවා ඇහිච්චගමන් මට දැනුන  හැඟීම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මම දවස් කීපයක්ම බාතෲම් එකට වෙලා ඇඬුවත් එක්ක. ඔව් පේන්න අඬන්න බෑ ගෙදර ඉන්න මනුස්සයා එතකොට බය වෙනවා නෙව! නෙරේයෝ ළඟ හිටපු බල්ලා ඒ පාරෙ නෙරෙයෝගේ පණ අහිමි සිරුර ළඟ  ඔහේ බලාගෙන ඉන්න එක තවත් දුක වැඩි කලා. එක මහ ලොකු කම්පනයක්!
   ඉන් එහාට මම ඔහු ගැන බොහෝ දේ හෙව්වා. ඔව් හරියටම දන්න හිතවත් කෙනෙක් නැති වුනා වගේ. මම විතරක් නෙමෙයි එදා වෙබ් එකේ බොහෝ ඔහුව දන්න කියන අය කතා කලේම ඔහුගේ අපූරු ගති පැවතුම්. ඔහුගේ ක්ලෝචඩ්ලාගෙන් එහා මිනිස්කම. මේ පැත්තේ තියෙන හැම ඔෆීස් එකකම අය ඔහුව දැනන් හිටියා. ඒ තරමට ඔහුගේ දසුන හැමෝටම විසේස වෙලා මට විතරක් නෙමෙයි. ඒ අයම තමයි නෙරේයෝට පොත් ගෙනිහින් දෙන්නෙත් කියවන්න. ඇයි මටත් ඒ වගේ පුංචි දෙයක් ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න බැරිවුනේ කියන දුක මේ වෙනකනුත් මගෙන්ම  අහනවා. මම කොයිතරම් නම් විකාර දේ වලට සල්ලි වියදම් කරනවද? ඒත් මට ඒක කරන්න බැරි වුනා. අච්චරම නෙරේයෝ ගේ දසුන මට වෙනසක් වුනත් මේ කාලේ පුරාවටම.

   ඒ මනුස්සයා වෙනිස් පැත්තෙ. කලින් එන්ග්ලන්ඩ් වල මැදපෙරදිග රටවල හා මෙහේ වැඩ කරලා තියෙනවා. හොඳට ජීවත් වෙච්ච මනුස්සයෙක්. මොනාම හරි දෙයක් වෙලා ඔහු පාරට වැටෙනවා. එයිට පස්සේ තමයි මහාපාරෙ ජීවිතේ ගෙවන්නේ. ඒත් අනිත් මිනිස්සු වගේ ඒකට ඔහු අනෙක් අයට දොස් කියන්නේ නෑ. ( මේ තත්ත්වය දැනගන්න ඔහුගේ නෑයෝ ඔහුව වේනෙතෝ වලට ගෙන්නගන්න හැදුවට ඔහු ඒ කාටවත් කරදරයක් වෙන්න කැමති නෑ. ඔහු සැහැල්ලුවෙන් මහ පාරේ ජීවත් එව්නවා ඔහුගේ බල්ලයි බයිසිකලෙයි එක්ක! )
ජීවිතේ ඕනෙ දෙයක් වෙන්න පුළුවන් කියන එකට වෙන උදාහරණ මොකටද? ඒත් එහෙම කියලා ?

 අද මම මේක ලියන්නේ  ඊයේ මගේ දුක නිදහස් කරගත්තට පස්සේ. ඔව් මහ රෑ සීතලේ මම පයින්ම ගිහින් නෙරේයෝ හිටපු තැනට ගිහින් මගේ අන්තිම රිස්පෙක්ට් එක පේ කලා. මම විතරක් නෙමෙයි හැමෝම එතන මල්, ඉටිපන්දම්, එක එක ආකාරයේ ශෝකාලාප බොහෝමයි. ඒ ළඟින් යන හැමෝම එතන නතර වෙලා යන්නේ! කොටින්ම එදා කිසිම වටිනාකම නොතිබුන නෙරේයෝ මේ වෙද්දි මටත් මගේම කෙනෙක් වෙලා. සීතලේ රෑ කිලෝ මීටර් දහයක් හෝ ඊට වඩා වැඩි ගාණක් ගියාට පස්සේ මාව දියවුනා වෙන්න ඇති. කලින් තිබුන බර දැන් නෑ. මේ සටහනෙන් ඉතිරි ටිකත් හලලම දාන්න පුළුවන් වෙයි.
 ඒත්!

 

1 comments: